ශු. මතෙව් 9:18-38

ශු. මතෙව් 9:18-38 SROV

උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය. යේසුස්වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක, උන්වහන්සේගේ ගෝලයෝද එසේම කළෝය. එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය. යේසුස්වහන්සේ මුලාදෑනියාගේ ගෙට ඇතුල්ව, නළාකාරයන්ද ඝෝෂාකරමින් සිටි සමූහයාද දැක: අහක්වෙන්න. යෞවනී මැරිලා නොව නිදන්නීයයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් සමූහයා පිටකරනු ලැබූ විට උන්වහන්සේ ඇතුල්වී, ඇගේ අත ඇල්ලූසේක; යෞවනී නැගිට්ටාය. එහි කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළවිය. යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා ඔබ සැම විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: ඔබ සැමගේ විශ්වාසයේ ප්‍රකාරයට ඔබ සැමට වේවයි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය. ඔවුන් පිටත්ව යන අතර යක්ෂාවේශවූ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්‍රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය. නුමුත් පරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක. උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක. එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.
SROV: Sinhala Revised Old Version
Share