ශු. මතෙව් 9:1-17

ශු. මතෙව් 9:1-17 SROV

එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක. එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; ඔබේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක. එකල ලියන්නන්ගෙන් සමහරෙක්: මොහු දෙවියන්වහන්සේට අපහාසකරන්නේයයි තමුන් තුළ කියාගත්තෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: කුමක් නිසා ඔබ සැම ඔබ සැමගේ සිත්වලින් නපුරු දේ සිතන්නහුද? වඩා පහසු කොයි එකද? ඔබේ පව් ඔබ සැමට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද? නුමුත් පොළොවෙහිදී පව්කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසයයි කියා: නැගිට ඔබේ ඇඳ අරගෙන ඔබේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට කීසේක. එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය. යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද යේසුස්වහන්සේගෙයි කෑමට හුන් කල්හි බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ හිඳගත්තෝය. පරිසිවරු ඒ දැක: ඔබ සැමගේ ආචාරීන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේ මක්නිසාදැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. නුමුත්-මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය ඔබ සැම ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක. එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: පරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත. කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක.
SROV: Sinhala Revised Old Version
Share