ශු. මතෙව් 10:1-20

ශු. මතෙව් 10:1-20 SROV

තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක. ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය; පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය; කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය. යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද? අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී, ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න. ඔබ සැම යමින්-ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. ඔබ සැම නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. ඔබ සැමගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය. ඔබ සැම කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න. ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ සැමගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් ඔබ සැමගේ සමාදානය නැවත ඔබ සැම කරා පැමිණේවා. කවරෙක් නුමුත් ඔබ සැම පිළිගන්නේවත් ඔබ සැමගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල ඔබ සැමගේ පාදවල ධූලි ගසාදමන්න. සැබවක් ඔබ සැමට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය. වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ සැම යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් ඔබ සැම මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබ සැමට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස ඔබ සැම මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. නුමුත් ඔවුන් ඔබ සැම පාවාදෙන කල, ඔබ සැම කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද ඔබ සැම විසින් කිය යුතු දේ ඒ පැයේදී ඔබ සැමට දෙනු ලබන්නේය. මක්නිසාද කථාකරන්නේ ඔබ සැම නොව ඔබ සැම තුළ කථාකරන ඔබ සැමගේ පියාණන්ගේ ආත්මයාණෝය.
SROV: Sinhala Revised Old Version
Share

ශු. මතෙව් 10:1-20

Share