ශු. යොහන් 7:28-52

ශු. යොහන් 7:28-52 SROV

ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත. මම උන්වහන්සේ අඳුනමි; කුමක්හෙයින්ද මම උන්වහන්සේ කෙරෙන් ආයෙමි, උන්වහන්සේද මා එවූසේකැයි කීසේක. එබැවින් ඔව්හු උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය. නුමුත් උන්වහන්සේගේ වේලාව ඒතාක් පැමුණුණේ නැති බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත් නොතැබුවෝය. නුමුත් සමූහයාගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔව්හු: ක්‍රිස්තුස්වහන්සේ ආ කල මුන්වහන්සේ කළ ලකුණුවලට වඩා උන්වහන්සේ කරනසේක්දැයි කීවෝය. සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා ඵරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද ඵරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය. එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි. නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත. මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවනැයි කීසේක. එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ කථාකරමින්: මොහු අපට සම්බ නොවෙන්ට කොතැනට යන්නේද? ග්‍රීකයන් අතරෙහි විසර සිටින්නන් වෙතට ගොස් ග්‍රීකයන්ට උගන්වනවා ඇද්ද? නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය. මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය. එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගතවක්තෘමයයි කීවෝය. අන් සමහරෙක්: මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි කීවෝය. එහෙත් සමහරෙක්: කිමෙක්ද, ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් එනසේක්ද? ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකැයි ශුද්ධලියවිල්ලෙහි කියා තිබෙනවා නොවේදැයි කීවෝය. මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය. ඔවුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ අල්ලන්ට කැමතිවූවෝය; නුමුත් කිසිවෙක් උන්වහන්සේ පිට අත් තැබුවේ නැත. ඉක්බිති සේවකයෝ නායක පූජකයන් සහ ඵරිසිවරුන් ළඟට ආවෝය. නුඹලා ඔහු නොගෙනාවේ මක්නිසාදැයි ඔව්හු ඔවුන්ගෙන් ඇසුවෝය. සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය. එබැවින් ඵරිසිවරු ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් මුළාවෙලාද? මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද? නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ (ඊට ප්‍රථම උන්වහන්සේ ළඟට ගියාවූ) නිකොදේමුස් ඔවුන්ට කථාකොට: යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.
SROV: Sinhala Revised Old Version
Share

ශු. යොහන් 7:28-52

Share