YouVersion Logo
Search Icon

ශු. යොහන් 10

10
යහපත් බැටළු එඬේරා
1සැබවක් සැබවක් නුඹලාට කියමි–දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. 2නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. 3ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි. 4ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති. 5උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේයයි කීසේක. 6යේසුස්වහන්සේ මේ උපහැරණය ඔවුන්ට කී නුමුත් උන්වහන්සේ විසින් කියනලද කාරණා කිමෙක්දැයි ඔවුන් තේරුම් ගත්තේ නැත.
7ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය. 8මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නො‍ත්ය. නුමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්නෝය. 9දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය. 10සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. 11මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය. 12එඬේරෙක් නොවූ, බැටළුවන්ගේ අයිතිකාරයා නොවන්නාවූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලායන්නේය, වෘකයා උන් අල්ලමින් විසුරුවාදමන්නේය. 13ඔහු පලායන්නේ ඔහු කුලීකාරයෙකු නිසාත් බැටළුවන් ගැන නොසලකන නිසාත්ය. 14මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි. 15මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි. 16තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ. 17මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක. 18කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක.
19මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය. 20ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය. 21අන් සමහරෙක්: මේවා යක්ෂාවේශවූ කෙනෙකුගේ කීම් නොවෙයි. අන්ධයන්ගේ ඇස් පහදන්ට යක්ෂයෙකුට පුළුවන්දැයි කීවෝය.
යේසුස්වහන්සේගේ දෙවිකම ඔප්පුකිරීම
22කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය. 23ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක. 24එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට: ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලිලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය. 25යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මම නුඹලාට කීමි, නුමුත් නුඹලා විශ්වාසකරන්නේ නැත. මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂිදෙති. 26නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත. 27මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. 28මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය. 29ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය. 30මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.
යුදෙව්වන්ගේ සතුරුකම
31යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය. 32යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක. 33යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය. 34යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.) 35දෙවියන්වහන්සේගේ වචනය ලැබූවන්ට දෙවිවරුයයි උන්වහන්සේ කීසේක් නම්, 36මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන–නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද? 37මම මාගේ පියාණන්වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න. 38නුමුත් ඒවා කරම් නම්, නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුළෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම්ගන්නා පිණිස ක්‍රියා විශ්වාසකරන්නැයි කීසේක. 39ඔව්හු නැවතත් උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය; නුමුත් උන්වහන්සේ ඔවුන් අතින් ගැළවී ගියසේක. 40උන්වහන්සේ යොර්දානෙන් එගොඩ යොහන් පළමුවෙන් බව්තීස්මකරමින් සිටි ස්ථානයට ආයෙත් ගොස් එහි නැවතී සිටිසේක. 41බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: සැබවින් යොහන් කිසි ආශ්චර්යයක් කළේ නැත. නුමුත් මුන්වහන්සේ ගැන යොහන් කී සියල්ලම සැබෑයයි කීවෝය. 42එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy