YouVersion Logo
Search Icon

ජෙරෙමියා 44

44
‘අහසේ බිසවට’ නමස්කාර කිරීමට විරුද්ධව සාක්ෂිදැරීම
1මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය. 2ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් යෙරුසලම පිටටත් යූදාහි සියලු නුවරවල් පිටටත් පැමිණෙවු සියලු විපත්ති නුඹලා දුටුවහුය; බලව, අද ඒවා පාළුවක් වී තිබේ, කිසිවෙක් එහි නොවසයි. 3එසේ වුණේ ඔවුන්වත් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට සේවයකිරීමට සුවඳ දුම් ඔප්පුකරන්ට යාමෙන් මා කෝපකරවන ලෙස ඔවුන් කළාවූ ඔවුන්ගේ නපුරුකම නිසාය. 4මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි. 5නුමුත් ඔව්හු නෑසුවෝය, අන්දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු නොකරන ලෙස තමුන්ගේ දුෂ්ටකමෙන් හැරෙන්ට ඔව්හු කන් යොමු නොකළෝය. 6ඒ නිසා මාගේ කෝපය හා උදහස වැගිරී, යූදාහි නුවරවලද යෙරුසලමේ වීථිවලද ඇවුළුණේය; ඒවා අද දවසේ තිබෙන ලෙස පාළුව නාස්තිව තිබේ. 7එබැවින් සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස නුඹලාගේ පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළදරුවන්ද කිරි දරුවන්ද යූදාවරුන් අතරෙන් සිඳදැමීමට නුඹලාගේ ප්‍රාණවලට විරුද්ධව නුඹලා මේ මහත් නපුර කොට, 8නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද? 9යූදා දේශයෙහිත් යෙරුසලමේ වීථිවලත් කළාවූ නුඹලාගේ පියවරුන්ගේ නපුරුකම්ද යූදාහි රජවරුන්ගේ නපුරුකම්ද ඔවුන්ගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාගේම නපුරුකම්ද නුඹලාගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාට මතකනැතිවීද? 10ඔවුන් අද දවස දක්වාම යටත්වුණේවත් භයවුණේවත් මා විසින් නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තැබූ මාගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ප්‍රකාරයට හැසුරුණේවත් නැත. 11එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹලාට විපත්තිය පිණිසද සියලු යූදාවරුන් සිඳදමන පිණිසද මාගේ මුහුණ නුඹලාට විරුද්ධව තබමි. 12මිසර දේශයෙහි පොරොත්තුව සිටීමට එහි පැමිණෙන්ට තමුන්ගේ මුහුණ හරවාගත්තාවූ ඉතිරිව සිටින යූදාවරුන් අල්ලාගන්නෙමි, ඔවුන් සියල්ලෝ නාස්තිවන්නෝය; ඔවුන් සියල්ලෝම මිසර දේශයේදී නැතිවීයන්නෝය; ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද නාස්තිවන්නෝය; කුඩා අය පටන් ලොකු අය දක්වා ඔව්හු කඩුවෙන්ද සාගතයෙන්ද මැරෙන්නෝය. ඔව්හු ඇවීමක් හා විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නෝය. 13මම යෙරුසලමට දඬුවම්කළාක්මෙන් මිසර දේශයෙහි වාසයකරන්නන්ටත් කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද දඬුවම් කරන්නෙමි. 14මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.
15එවිට තමුන්ගේ භාර්යාවන් අන් දෙවි වරුන්ට සුවඳ දුම් ඔප්පුකරන බව දන්න සියලු පුරුෂයෝද මහත් සමූහයක්ව ළඟ සිටි සියලු ස්ත්‍රියෝද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟද යෙරෙමියාට උත්තරදෙමින්: 16නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව. 17අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව. 18නුමුත් අප විසින් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකිරීමත් ඈට පානපූජා වැගිරවීමත් අත්හැරිය දා සිට සෑම දේම අපට හිඟවී, අපි කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවුණෙමුව. 19(ස්ත්‍රීන් වන) අපත් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකර පානපූජා වගුරුවන විට, අප විසින් එසේ ඈට සේවයකිරීමට කැවුම් සෑදුවෙත් පානපූජා වැගිරෙවුවෙත් අපේ පුරුෂයන් නොදැනුවත්වදැයි කීවෝය. 20එවිට යෙරෙමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් එනම් ඔහුට ඒ උත්තරය දුන් මුළු සෙනඟට කථාකොට: 21ස්වාමීන්වහන්සේ විසින් සිහිකර සිතටගත්තේ නුඹලාද නුඹලාගේ පියවරුන්ද නුඹලාගේ රජවරුන්ද නුඹලාගේ අධිපතීන්ද දේශයෙහි සෙනඟද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔප්පුකළ සුවඳ දුම් නොවේද? 22එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ. 23නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ශික්ෂාවලද හැටියට නොහැසිර, සුවඳ දුම් ඔප්පුකළ නිසාත්, ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසාත්, අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේයයි කීවේය.
24තවද යෙරෙමියා මුළු සෙනඟටත් සියලු ස්ත්‍රීන්ටත් කථාකොට: මිසර දේශයේ සිටින යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචන අසන්න. 25ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට ඈට පානපූජා වගුරුවන හැටියට අප විසින් වුණාවූ අපේ භාරවල් නුඹලාත් නුඹලාගේ භාර්යාවොත් නුඹලාගේ කටින් කියා, නුඹලාගේ අත්වලින් සම්පූර්ණකළහුය. ඉතින් ස්ත්‍රීන් වන නුඹලාගේ භාරවල් ස්ථිරකොට, නුඹලාගේ භාරවල් ඉෂ්ට කරන්න. 26එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 27බලව, මම ශුභසිද්ධිය පිණිස නොව විපත්තිය පිණිස ඔවුන් ගැන පිබිද සිටිමි. මිසර දේශයෙහි සිටින සියලුම යූදාවරු තීන්දුවෙන තුරු කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවී යන්නෝය. 28කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත. 29මාගේ වචන විපත්තිය පිණිස නුඹලා කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා නුඹලාට දඬුවම්කරන බවට නුඹලාට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 30මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy