හෙබ්‍රෙව් 2
SROV
2
ශුභාරංචිය සුළුකිරීමේ අන්තරාය
1ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය. 2මක්නිසාද දේවදූතයන් කරණකොටගෙන කියනලද වචනය ස්ථිරවී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වීනම්, 3පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද? 4දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක. ‍
5මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථාකරමුද, පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත්කළේ දේවදූතයන්ට නොවේය. 6නුමුත් එක් කෙනෙක් එක් තැනක සාක්ෂිදෙමින්:
ඔබ විසින් මනුෂ්‍යයා සිහිකරන්ට නොහොත් මනුෂ්‍ය පුත්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද?
7ඔබ දේවදූතයන්ට වඩා ඔහු මඳක් පහත්කළසේක;
ඔබ තේජසද ගෞරවයද නමැති ඔටුන්න ඔහුට පැළඳවූසේක, ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු ආණ්ඩුකාරයා කළසේක.
8ඔබ සියල්ලම ඔහුගේ පාදවලට යටත්කළසේකැයි
කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත්කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත්කර තිබෙන බව තවම අපට නොපෙනේ. 9නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ. 10කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය. 11මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදුකරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝයයි කියන්ට ලජ්ජා නොවී:
12මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශකරන්නෙමි, සභාව මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා ගීතිකාකරන්නෙමියි
කියනසේක. 13නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක. 14එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, 15ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය. 16මක්නිසාද [පිහිටවීම සඳහා] සැබවින් උන්වහන්සේ අල්ලාගන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ වංශයය. 17එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය. 18මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.