එසකියෙල් 43
SROV
43
දෙවියන්වහන්සේ දේවමාළිගාවට පැමිණීම. එහි දේව නමස්කාරය අමුතුවෙන් පිහිටුවීම
1තවද ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙනගියේය. 2එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය. 3මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි. 4ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය. 5එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි. 6කෙනෙක් ගෘහයේ සිට මට කථාකරනවා මට ඇසුණේය; මනුෂ්‍යයෙක්ද මා ළඟ සිටියේය. 7උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය; 8ඔව්හු තමුන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟද තමුන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟද තැබුවෝය, මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක්ය; එසේ ඔවුන් කළාවූ තමුන්ගේ පිළිකුල්කම්වලින් ඔව්හු මාගේ ශුද්ධ නාමය අපවිත්‍රකළෝය. මමද මාගේ උදහසින් ඔවුන් විනාශකෙළෙමි. 9දැන් ඔව්හු තමුන්ගේ වේශ්‍යාකම්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන්ද මා වෙතින් පහකරත්වා, එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි.
10මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ අපරාධ ගැන ලජ්ජාවෙන පිණිසත් ගෘහයේ ආදර්ශ සිතුයම මනින පිණිසත් ගෘහය ඔවුන්ට පෙන්වන්න. 11ඔව්හු තමුන් කළ සියල්ල ගැන ලජ්ජාවී සිටිත් නම්, ගෘහයේ ආකාරයද එහි පිළිවෙළද ඇතුළට පිටතට යන එන තැන්ද එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද එහි මුළු ආකාරයද එහි මුළු ව්‍යවස්ථාවද ඔවුන්ට දන්වා, ඔවුන් එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද පවත්වා ඒවා කරන පිණිස ඔවුන් ඉදිරියේදී ඒවා ලියන්න. 12ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.
13රියන් වශයෙන් පූජාසනයේ මිමි මේවාය: (ඒ රියනට රියනකුත් අල්ලක්ය.) ඒකේ අඩියේ උස රියනක්ය, පළලත් රියනක්ය, වටකර ඒකේ ගැටිය අද්දර දක්වා එක වියතක්ය. මේක පූජාසනයේ අඩියය. 14බිමේ පටන් පහළ පිළට දෙරියනක්ය, පළල එක රියනක්ය; කූඩා පිළ පටන් ලොකු පිළට රියන් සතරක්ය, පළලද රියනක්ය. 15පූජාසනයේ උඩ කොට්ඨාසය රියන් සතරක්ය; උඩ කොට්ඨාසයේ සිට ඉහළට අං සතරක් ඇත්තේය. 16උඩ කොට්ඨාසයේ දිග රියන් දොළොසක්ය, පළලත් දොළොසක්ය, හතර පැත්ත හතරැස්ය. 17එහි සතර පැත්තේ පිළේ දිග රියන් දහහතරක්ය, එහි පළලත් දහහතරක්ය; එය වටකර තිබෙන ගැටිය රියන් භාගයක්ය; එය වටකර තිබෙන අඩිය රියනක්ය; ඒකේ පඩිය නැගෙනහිර දෙසටයයි කීසේක.
18තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-පූජාසනය පිට දවන පූජා ඔප්පුකරන්ටත් ඒක පිට ලේ ඉසින්ටත් එය සාදන කල ඒකේ නියෝග මේවාය. 19මට සේවයකරන්ට මා ළඟට පැමිණෙන්නාවූ, ශාදොක්ගේ වංශයේ ලෙවීවරුවූ පූජකයන්ට පාප පූජාවක් පිණිස තරුණ ගොනෙක් දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 20ඔබ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන ඒකේ අං සතරේද පිළේ කොන් සතරේද වටකර ගැටියේද ගා, එසේ ඒකේ දෝෂ පහකොට, ඒක උදෙසා සමඟිකමක් කරන්න. 21තවද පාප පූජාවේ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් ගෘහයේ නියම තැන ඌ පුලුස්සන්න. 22දෙවෙනි දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැලලක් නැති පිරිමි සතෙක් ගෙනෙන්න; ගොනාගෙන් පූජාසනය පවිත්‍රකළාක්මෙන් එයින් ඒක පවිත්‍ර කරත්වා. 23ඔබ ඒක පවිත්‍රකර තීන්දුවුණාම, කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් කැලලක් නැති බැටළුවෙක්ද ගෙනැවිත්, 24උන් ස්වාමීන්වහන්සේ ඉදිරියට පමුණුවන්න. එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරත්වා. 25සත් දවසක් දවස්පතාම පාප පූජාවක් කොට එළුවෙක් පූජාකරන්න. එසේම කැලලක් නැති තරුණ ගොනෙක්ද රැළෙන් බැටළුවෙක්ද ඔව්හු පූජාකරත්වා. 26සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමක් කොට, ඒක පිරිසිදුකර, ඒක කැපකරත්වා. 27ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ ඔබ සැමගේ දවන පූජාද ඔබ සැමගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද ඔබ සැම පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.