YouVersion Logo
Search Icon

එසකියෙල් 42

42
1තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය. 2උතුරු දොරකඩ රියන් සියයක් දිග ඉස්සරහ පිට තිබුණේය, පළලද රියන් පනහක්ය. 3ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය. 4කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය. 5මක්නිසාද ඒ ගොඩනැගිල්ලේ පහළ සහ මැද කොට්ඨාසවලින් ඉඩ අසුවුණාට වඩා ඒවායෙන් පිට-ශාලාවලට ඉඩ අසුවිය. 6මෙසේ වුණේ ඒවා මහල් තුනක්ව තිබුණු නුමුත් මළුවල කුළුනු වාගේ ඒවාට කුළුනු නොතිබුණු නිසාය. එබැවින් පහළ ඒවාටත් මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්ට යන්ට පටුව තිබුණේය. 7කාමර දිගට පිට-මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග රියන් පනහක්ය. 8මක්නිසාද පිට-මළුවේ කාමරවල දිග රියන් පනහක්ය. නුමුත් මාළිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග රියන් සියයක්ය. 9පිට-මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්ට නැගෙනහිර පැත්තෙන් ඇතුල්වෙන තැන ඒවාට යටින් තිබුණේය. 10නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය. 11මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය. 12දකුණු පැත්තේ කාමරවල දොරකඩවල් වාගේ ඇතුල්වෙන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිටම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබුණේය. 13එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය. 14පූජකයන් එහි ඇතුල්වුණාම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට-මළුවට නොයන්නෝය, සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍රද එහි තබන්නෝය; මක්නිසාද ඒවා ශුද්ධය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟගේ කාරණාවලට පැමිණෙන්නෝයයි කීවේය.
15ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය. 16මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය. 17ඔහු උතුරු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් වටේට පන්සියයක්ව තිබුණේය. 18ඔහු දකුණු පැත්ත මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය. 19ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් මැන්නේය, ඒක මනින දණ්ඩෙන් පන්සියයක්ව තිබුණේය, 20ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy