YouVersion Logo
Search Icon

එසකියෙල් 28:11-19

එසකියෙල් 28:11-19 SROV

තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය. නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය. නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවුවෙමි; නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය. නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි. නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ, නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුඹේ වෙළඳාමේ අධර්මිෂ්ඨකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලහුවෙහිය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි, එය නුඹ නාස්තිකෙළේය, නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අලුකෙළෙමි. ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.