YouVersion Logo
Search Icon

එසකියෙල් 16

16
කරුණාවෙන් ඇතිකරගත් දරුවෙකු වැනි ඉශ්‍රායෙල් අවිශ්වාස භාර්යාවක් හා සමානවීම
1නැවතත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දන්වමින්, 3මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය. 4නුඹ උපන් දවසේදී, නුඹ උපන් කල නුඹේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට නුඹ වතුරෙන් නෑවුවේවත් නුඹට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත. 5නුඹට අනුකම්පාකොට මේවායින් එකක්වත් නුඹට කරන ලෙස කිසි ඇසක් නුඹට දයා නොවීය; නුඹ උපන් දවසේදී නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා නුඹ කෙතේ දමනු ලැබුවෙහිය. 6මම නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර ඉන්නවා දැක: නුඹ නුඹේ ලේවල වැතිර ඉන්දදී ජීවත්වෙයන්නැයි නුඹට කීවෙමි; එසේය, ජීවත්වෙයන්නැයි නුඹේ ලේවල වැතිර ඉන්දැද්දී නුඹට කීවෙමි. 7කෙතේ දළුව මෙන් නුඹ රාශි ගණන් වැඩිකෙළෙමි, නුඹ වැඩ මහත්වී, ඉතා ලක්ෂණ ස්වභාවකට පැමිණියෙහිය; නුඹේ පියයුරු සෑදුණේය, නුඹේ ඉසකේද වැඩුණේය; නුමුත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියෙහිය. 8මම නුඹ ළඟින් ගොස් බැලූ කල, නුඹේ කාලය වන ප්‍රේමයේ කාලය පැමිණී තිබෙන බව දැක, මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම්දී, නුඹ සමඟ ගිවිසුමක් කරගත්තෙමි, නුඹද මට අයිතිවූයෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 9තවද මම නුඹ වතුරෙන් නාවා, නුඹෙන් හොඳාකාරයෙන් ලේ සෝදා හැර, තෙලින් ආලේපකෙළෙමි. 10විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි. 11මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලුද නුඹේ බෙල්ලේ මාලයක්ද දැමුවෙමි. 12නුඹේ නාසයේ ආභරණයක්ද නුඹේ කන්වල කුණ්ඩලාභරණද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි. 13මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහිය; නුඹේ වස්ත්‍රද සිහින් හණ රෙදිත් පට සහ විසිතුරු රෙදිත්ය; නුඹ සිහින් පිටිද මීපැණිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ලක්ෂණවී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනයවූවෙහිය. 14නුඹේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතරේ පැතිරගියේය; මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක
15නුමුත් නුඹේ ශෝභනකම කෙරේ නුඹ විශ්වාසකොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම්කරමින්, ළඟින් යන එකිනෙකාටම නුඹේ වේශ්‍යාකම් වැගිරෙවුවෙහිය; එය ඔහුට වුණේය. 16නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් උස් තැන් සාදාගෙන, පළමු සිදුවුණේවත් මතු සිදුවන්නේවත් නැති ආකාරයකට ඒවා උඩ වේශ්‍යාකම්කෙළෙහිය. 17මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; 18නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල්ද මාගේ සුගන්ධ ද්‍රව්‍යයද ඒවා ඉදිරියෙහි තැබුවෙහිය. 19කන්ට මා විසින් නුඹට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 20තවද මා නිසා නුඹ වැදූ නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද නුඹ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය. 21නුඹ මාගේ දරුවන් ගින්නට කැපකොට ඔවුන් ඒවාට මරාදුන්නේ නුඹේ වේශ්‍යාකම් සුළු කාරණයක්වූ නිසාද? 22නුඹේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද නුඹ නිර්වස්ත්‍රව, නග්නව, නුඹේ ලේවල වැතිර උන්නාවූ නුඹේ බාල කාලය නුඹ සිහි නොකෙළෙහිය. 23තවද නුඹට දුක්වේ! දුක්වේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු, 24නුඹ සියලු වීථිවල [වේශ්‍යා] මහලක් තනාගෙන උස්තැනක්ද සාදාගත්තෙහිය. 25නුඹ සියලු මංසන්ධිවල නුඹේ උස්තැන් ගොඩනගා, නුඹේ ශෝභනකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට නුඹේ කකුල් විදහා, නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය. 26තවද ශරීරයෙන් තරව සිටින නුඹේ අසල්වාසීන් වන මිසරයන් සමඟ නුඹ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය. 27එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹේ කෑම කොටස අඩුකර, නුඹට වෛරවෙන්නන්වූ නුඹේ සල්ලාල මාර්ගය ගැන ලජ්ජාවෙන් සිටින පිලිස්තිවරුන්ගේ දූවරුන්ගේ කැමැත්තට නුඹ භාරදුනිමි. 28නුඹේ ආශාව සංසිඳිමක් නොවූ නිසා, නුඹ අෂූරියයන් සමඟද වේශ්‍යාකම්කෙළෙහිය; නුඹ ඔවුන් සමඟ වේශ්‍යාකම්කළ නුමුත් සෑහීමට නොපැමිණියෙහිය. 29නුඹ කානාන් දේශයේදී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය; එහෙත් එයිනුත් සෑහීමට නොපැමිණියෙහිය. 30නොහික්මෙන වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ක්‍රියා වන මේ සියල්ල කරන්නාවූ නුඹේ සිත කොපමණ දුර්වලව තිබෙනවා නොවේදැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 31එසේය, නුඹේ සියලු මාර්ග කොන්වල නුඹේ (වේශ්‍යා) මහල ගොඩනගා, සියලු වීථිවල නුඹේ උස්තැනක් සාදාගත්තෙහිය; පණයම් එපාකරන හෙයින් වේශ්‍යාවට නුඹ සමාන නූණෙහිය. 32කාමමිථ්‍යාචාරය කරන භාර්යාවක්ය! තමාගේ පුරුෂයා වෙනුවට අන්‍යයන් ගන්න ස්ත්‍රියෙක්ය! 33සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් නුඹ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ට නුඹේ තෑගි දී, නුඹ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම නුඹ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය. 34නුඹේ වේශ්‍යාකම්වලදී නුඹේ අන්දම අන් ස්ත්‍රීන්ට වෙනස්ය, මක්නිසාද වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ පණයම් දෙනවා මිස නුඹට පණයම් දෙන්නේ නැත, මෙසේ නුඹ වෙනස්ය.
35එබැවින් වේශ්‍යාවිය, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. 36ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ ප්‍රේමවන්තයන් සමඟද නුඹේ සියලු පිළිකුල්වල රූප සමඟද නුඹ කළ වේශ්‍යාකම්වලිනුත් නුඹ ඒවාට දුන් නුඹේ දරුවන්ගේ ලේවලිනුත් නුඹේ මුදල් වියදම්වී නුඹේ නග්නභාවය පෙනුණු බැවින්, 37නුඹ කෙරෙහි ආලයවුණ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ද නුඹ ප්‍රේමවුණ සියල්ලන්ද නුඹ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් නුඹට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් නුඹේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස නුඹේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි. 38පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි. 39තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත. 40ඔවුන් නුඹට විරුද්ධව සමුදාවක් පමුණුවා, නුඹට ගල්ගසා, තමුන්ගේ කඩුවලින් නුඹට අනිනවා ඇත. 41ඔවුන් නුඹේ ගෙවල් ගිනිලා, බොහෝ ස්ත්‍රීන් ඉදිරියේදී විනිශ්චයන් නුඹ කෙරෙහි ඉෂ්ටකරනවා ඇත; වේශ්‍යාකම්කිරීමෙන්ද නුඹ නවත්වන්නෙමි, පණයම්ද නුඹ තවත් නොදෙන්නෙහිය. 42මෙසේ මාගේ උදහස නුඹ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය නුඹෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි. 43නුඹේ බාල කාලය නුඹ සිහිනැතිකොට, ඒ සියල්ලෙන් මා උදහස්කළ බැවින්, බලව, මමත් නුඹේ මාර්ගය නුඹේ හිස පිටට පමුණුවන්නෙමි. නුඹද නුඹේ සියලු පිළිකුල්කම්වලට වඩා නරකවූ මේ දූෂ්‍යකම නොකරන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
44උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව නුඹ ගැන කියනවා ඇත. 45නුඹ නම් පුරුෂයාටත් දරුවන්ටත් පිළිකුල්කරන මවගේ දුවය; නුඹ තමුන්ගේ පුරුෂයන්ටද දරුවන්ටද පිළිකුල්කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරීය. නුඹලාගේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය, නුඹලාගේ පියා අමෝරියයෙක්ය. 46නුඹේ වැඩිමල් සහෝදරී නුඹට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. නුඹේ බාල සහෝදරී නුඹට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය. 47නුමුත් නුඹ ඔවුන්ගේ මාර්ගවලම නොගොස්, ඔවුන්ගේ පිළිකුල්වල ප්‍රකාරයටම නොකර, ඒවා මදියයි සිතා, ඔවුන්ටත් වඩා නුඹේ සියලු මාර්ගවලින් නුඹ දුෂ්ටකම්කෙළෙහිය. 48මා ජීවමාන බව සැබෑවා සේම නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරීවූ සොදොම සහ ඇගේ දූවරුන් කළේම නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 49මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය. 50ඔවුන් උඩඟුව සිට මා ඉදිරියෙහි පිළිකුල්කම් කළ බැවින්, මට හොඳව පෙනුණු ලෙස ඔවුන් පහකෙළෙමි. 51සමාරිය නුඹේ පව්වලින් අර්ධයක්වත් නොකළාය; නුඹ ඔවුන්ට වඩා නුඹේ පිළිකුල් ක්‍රියා වැඩිකර, නුඹ කළ නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවලින් නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සුවෙහිය. 52නුඹේ සහෝදරියන් විනිශ්චයකළ නුඹ නුඹේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස නුඹ කළාවූ නුඹේ පාප නිසා ඔව්හු නුඹට වඩා ධර්මිෂ්ඨය. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් නුඹත් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න. 53ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි. 54මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය. 55නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත. 56සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් නුඹව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම නුඹට නින්දාකළ කාලයේදී මෙන්, නුඹේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්, 57නුඹේ උඩඟුකමේ දවසේදී නුඹේ සහෝදරීවූ සොදොම නුඹේ මුඛයෙන් සඳහන්කළේවත් නැත. 58නුඹේ සල්ලාලකමද නුඹේ පිළිකුල්කම්ද නුඹම දැරුවෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. 59මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි. 60එහෙත් මා විසින් නුඹේ බාල කාලයේදී නුඹ සමඟ කළාවූ මාගේ ගිවිසුම සිහිකොට, සදාකාල ගිවිසුමක් නුඹ සමඟ පිහිටුවන්නෙමි. 61නුඹේ වැඩිමහල්වූද බාලවූද සහෝදරියන් නුඹ විසින් පිළිගන්න විට නුඹ නුඹේ මාර්ග සිහිකොට ලජ්ජාවන්නෙහිය. ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි, නුමුත් එය නුඹේ ගිවිසුමකින් නොවේය. 62නුඹ කළ සියල්ල ගැන මා විසින් නුඹට කමාවෙන විට නුඹ සිහිකොට, වියවුල්ව, ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින පිණිස, 63මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy