නික්මයාම 39
39
පූජක ඇඳුම් පැලඳුම්
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ශුද්ධස්ථානයෙහි මෙහෙකරන පිණිස නිල්, රත්නිල්, රතු සිහින් වස්ත්‍ර සාදා ආරොන්ට ශුද්ධ වස්ත්‍රද සෑදුවෝය.
2ඔහු රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද ඒඵොද් සැට්ටය සෑදුවේය. 3ඔව්හු දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය. 4ඔව්හු උරපටි ඊට සන්ධිකොට සෑදුවෝය. එය දෙකෙළවරින් එක්කරනලද්දේය. 5ඒ පිට තිබුණාවූ ඒක බඳින විසිතුරු පටිය ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒකේ වැඩ වාගේ රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද යුක්තව ඊට සම්බන්ධකොට සෑදුවේය.
6ඔව්හු මුද්‍රයක කැටයම් වාගේ නඛමාණික්‍ය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාමප්‍රකාරයට කැටයම් කොට ඒවා රන් කෙවෙනිවල බැන්දෝය. 7ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිවීමේ ගල් පිණිස ඒවා ඒඵොද් සැට්ටයේ උරපටි පිට සවිකෙළේය.
8ඔව්හු ඒඵොද්හි කර්මාන්තය මෙන් රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද කළ දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් යුක්තවූ ළය වැස්ම සෑදුවේය. 9ඒක සතරැස් විය; ඔව්හු ළය වැස්ම ද්විගුණකොට සෑදුවෝය. ඒකේ දිග වියතක්ය, ඒකේ පළල වියතක්ය, ඒක දෙපට වූයේය. 10එහි මැණික් පේළි සතරක් බැන්දෝය. පළමුවෙනි පේළියට ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද විය. 11දෙවෙනි පේළියට රතු කැටයක්ද නීල කාන්තයක්ද වජ්‍රයක්ද විය. 12තුන්වෙනි පේළියට පද්මරාගයක්ද වර්ණකාන්තියක්ද අඹතෙස්ගලක්ද විය. 13සතරවෙනි පේළියට රන් කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද විය. ඒවා රන් කෙවෙනිවල බඳිනලද්දේය. 14ඒ මැණික් ගල් පිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම ගණනේ හැටියට නාම දොළසක් වූහ; ගෝත්‍ර දොළසේ ගණනට එකිනෙකාගේ නාමය මුද්‍රාවක කැටයම් ලෙස විය. 15ඔව්හු ළය වැස්ම පිට පවිත්‍ර රනින් ලනු මෙන් ගොතනලද මාල සෑදුවෝය. 16ඔව්හු රන් කෙවෙනි දෙකක් සහ රන් වළලු දෙකක්ද සාදා ඒ රන් වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට සවිකළෝය. 17ඔව්හු රනින් ගොතනලද මාල දෙක ළය වැස්මේ දෙකෙළවර තිබෙන වළලු දෙකෙහි තබා, 18ගොතනලද මාල දෙකේ අනික් දෙකෙළවර කෙවෙනි දෙකෙහි බැඳ ඒවා ඒඵොද්හි උර පටි පිට ඉස්සරහින් සවිකළෝය. 19ඔව්හු වළලු දෙකක් රනින් සාදා ඒඵොද් සැට්ටයේ ඇතුල් පැත්තේ තිබෙන ළය වැස්මේ දෙකෙළවර වාටියෙහි සවිකළෝය. 20ඔව්හු තවත් වළලු දෙකක් රනින් සාදා උරපටි දෙකේ යට පැත්තේ ඒකේ මූට්ටුව ළඟ ඉදිරියෙහිද ඒඵොද්හි විසිතුරු කොට වියනලද ඒකේ පටිය පිටද ඒවා සවිකළෝය. 21ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු කොට වියනලද පටිය පිට තිබෙන පිණිසද ළය වැස්ම ඒඵොද් සැට්ටයෙන් ගැළවී නොයන පිණිසද ඒකේ වළලු ඒඵොද් සැට්ටයේ වළලුවලට නිල් පටියකින් බැන්දෝය.
22ඔහු වියනලද ඒඵොද් සැට්ටයේ සළුව මුළුල්ල නිල් නූලින් වියා සෑදුවේය. 23ඒ සළුවේ මැද සන්නාහයක සිදුරක් මෙන් සිදුරක් විය. එය නොඉරෙන පිණිස ඒක වටේට වියනලද වාටියක් විය. 24ඔව්හු සළුවේ පහළ වාටිය දිගේ නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් දෙළුම් ගෙඩිද සෑදුවෝය. 25ඔව්හු පවිත්‍ර රනින් මිණි ගෙඩිද සාදා ඒවා දෙළුම් ගෙඩි අතරෙහි සළුවේ පහළ වාටිය දිගේ වටේ දෙළුම් ගෙඩි අතරේ තැබුවෝය; 26සේවය කිරීම පිණිස සළුවේ පහළ වාටිය දිගේ මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද වශයෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෑදුවෝය.
27 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ආරොන් හා ඔහුගේ පුත්‍රයන්ට කටිනලද සිහින් හණ නූලින් උතුරු සළුද, 28සිහින් හණ නූලින් මකුටයද සිහින් හණ නූලින් අලංකාර හිස්වැසුම්ද කටිනලද සිහින් හණ නූලින් හණ කලිසම්ද, 29නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් ඉඟපටියද විසිතුරුකර වියා සෑදුවෝය.
30 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය. 31ඒක මකුටය මුදුනෙහි සවිකිරීමට ඊට නිල් පටියකුත් බැන්දෝය.
වැඩ නිමකොට මෝසෙස්ට භාරදීම
32සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.
33ඔව්හු මණ්ඩපය එනම් කූඩාරම සහ ඒකේ සියලු බඩුද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනු සහ අඩිද; 34රතු සායම් පෙවූ බැටළු සම් වැස්ම සහ තහෂ් සම් වැස්මද කඩතුරාවේ තිරයද; 35සාක්ෂිපෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද; 36මේසය සහ ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද; 37පවිත්‍ර පහන් රුකද ඒකේ පහන් එනම් පිළිවෙළට තබන්ට පහන්ද ඒකේ සියලු භාජනද එළිය දීමට තෙල්ද; 38රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද; 39පිත්තල පූජාසනයද ඒකේ පිත්තල මැස්සද ඒකේ පොලු සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය සහ ඒකේ අඩියද, 40මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද, 41ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය. 42ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ සියලු කර්මාන්ත කළෝය. 43මෝසෙස් ඒ සියලු කර්මාන්ත බලා ස්වාමීන්වහන්සේ අණකළ ලෙසම ඔවුන් ඒවා සාදා තිබෙන බව දැක ඔවුන්ට ආශීර්වාද කෙළේය.
Currently Selected:
නික්මයාම 39: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society