ධර්මදේශකයා 2
SROV

ධර්මදේශකයා 2

2
ශාරීරික සැප සහ ලෞකික තේජසත් නිෂ්ඵල බව
1මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය. 2ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි. 3මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත් කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි. 4මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි; 5මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි. 6ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි. 7මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය. 8මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි. 9මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය. 10මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය. 11නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.
ඥානය පවා නිෂ්ඵලය
12එවිට මම ප්‍රඥාවත් මෝහයත් අඥානකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය. 13එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි. 14ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඥානයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගතිමි. 15එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි. 16මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි! 17එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
18එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි. 19ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය. 20එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි. 21මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ. 22මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? 23ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
24කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි. 25මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද? 26දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.