YouVersion Logo
Search Icon

ක්‍රියා 2

2
ශුද්ධාත්මයාණන් ප්‍රදානය
1තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. 2තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. 3ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. 4ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.
5එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය. 6මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල්විය, මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කථාකරනවා ඇසුවේය. 7ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද? 8අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කථාකරනවා කෙසේ අසමුද? 9පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්, 10පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීහුද රෝමයෙන් ආ විදේශීහුද යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද, 11ක්‍රීත්වරු සහ අරාබිවරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමුයයි කීවෝය. 12ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය. 13නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.
පෙන්තකොස්ත දින පේතෘස්ගේ දේශනාව
14නුමුත් පේතෘස් එකොළොස්දෙනා සමඟ නැගිට ශබ්දනගා ඔවුන්ට කියනුයේ: යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න. මාගේ වචනවලට කන්දෙන්න. 15මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ. 16නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්:
17අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි.
නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය.
නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.
18එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි;
ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.
19තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි.
20ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
21ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක
යනුයි. 22ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසන්න–නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවියන්වහන්සේ විසින් නාසරිය යේසුස්වහන්සේ ලවා කරවනලද බලවත් ක්‍රියාවලින්ද පුදුමවලින් ද ලකුණුවලින් ද දෙවියන්වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ, 23දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය. 24නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය. 25මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්:
ස්වාමීන්වහන්සේ නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි;
මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක.
26එහෙයින් මාගේ සිත සන්තෝෂවිය, මාගේ දිව ප්‍රීතිවිය;
තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය.
27මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.
28ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක;
ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි
කීය. 29සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ. 30එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය. 31ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය. 32මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. 33එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.
34මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත.
නමුත් ඔහු කථා කොට:
මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක්
35මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි
ඔහුම කියයි. 36එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.
දේශනාවේ ඵල. සභාව පිහිටුවීම
37ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය. 38පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. 39මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා, 40වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය. 41එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.
ක්‍රිස්තියානි සමාගමේ ලක්ෂණ
42තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.
43එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය. 44අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය; 45ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය. 46තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්, 47සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy