YouVersion Logo
Search Icon

2 පේතෘස් 1

1
ආචාරය
1යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්: 2දෙවියන්වහන්සේද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.
ක්‍රිස්තියානිකාරයන්ගේ චරිත ගුණ හා අභිවර්ධනය
3මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ. 4ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය. 5එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, 6දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, 7දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න. 8මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. 9නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි. 10එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත. 11මක්නිසාද මෙසේ අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝසේ දෙනුලැබේ.
ප්‍රේරිත තැනගේ මරණය ළඟ බව දැනුම්දීම
12එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි. 13අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන, 14මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි. 15එසේය, මාගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.
පේතෘස් තුමාගෙත් ප්‍රොපේතවරුන්ගෙත් සාක්ෂි
16මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. 17මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක. 18උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ. 19ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන, 20අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය. 21මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.

Currently Selected:

2 පේතෘස් 1: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy