YouVersion Logo
Search Icon

2 රාජාවලිය 1

1
අහසියා සහ එලියා. අහසෙන් ගිනි බැස්සවීම
1ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය. 2තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය. 3නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? 4එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය. 5එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආවෝය, නුඹලා හැරී ආවේ මක්නිසාදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 6ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය. 7නුඹලාගේ පෙරමගට ඇවිත් මේ වචන නුඹලාට කී මනුෂ්‍යයාගේ අන්දම කොයි හැටිදැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. 8ඔව්හු ඔහුට උත්තරදෙමින්: ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මනුෂ්‍යයෙකැයි කීවෝය. ඔහු: ඒ තිෂ්බිය එලියායයි කීවේය. 9එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය. 10එලියා පනසාධිපතියාට උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි කීවේය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය. 11රජ නැවත තවත් පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු ළඟට ඇරියේය. ඔහු කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීවේය. 12එලියා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි ඔවුන්ට කීවේය. එවිට දෙවියන්වහන්සේගේ ගිනි අහසින් බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය. 13රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා. 14බැලුව මැනවි, අහසින් ගිනි බැස පළමු පනසාධිපතීන් දෙදෙනාද ඔවුන්ගේ පනසවල්ද දවාදැමුවේය. නුමුත් දැන් මාගේ ප්‍රාණය ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවායි ඔහුට කීවේය. 15එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා කථාකොට: භයනොවී ඔහු සමඟ යන්නැයි එලියාට කීවේය. ඔහු නැගිට ඔහු සමඟ රජු ළඟට බැස ගියේය. 16ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය. 17මෙසේ එලියා කී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඔහු මළේය. ඔහුට පුත්‍රයෙකු නොසිටිය බැවින් ඔහු වෙනුවට යෙහෝරාම් යූදාහි රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යෙහෝරාම්ගේ දෙවෙනි අවුරුද්දේදී රජවුණේය. 18අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in