2 කොරින්ති 11:16-33

2 කොරින්ති 11:16-33 SROV

මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් නුඹලා එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න. පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි. මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි. මක්නිසාද ඥානවන්තව සිටින නුඹලා, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය. යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය. අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි. ඔව්හු හෙබ්‍රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්‍රායෙලිතයෝද? මමත් එසේමය. ඔව්හු ආබ්‍රහම්ගේ වංශයද? මමත් එසේමය. ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය. යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි. තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි. තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද; වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි. බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද? මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි. මා බොරු නොකියන බව අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ පියවූ සදාකල්ම ප්‍රශංසනීයවූ දෙවියන්වහන්සේ දන්නාසේක. දමස්කයේදී අරෙතස් රජු යටතේවූ ආණ්ඩුකාරයා මා අල්ලන පිණිස දමස්කවරුන්ගේ නුවර මුර සිටුවා රැකසිටි විට, මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.
SROV: Sinhala Revised Old Version
Share

Free Reading Plans and Devotionals related to 2 කොරින්ති 11:16-33