YouVersion Logo
Search Icon

1 රාජාවලිය 17

17
එලියා සහ ශාරෙපත්හි වැන්දඹු ස්ත්‍රී
1තවද ගිලියද්හි විසූවන්ගෙන් එක්නෙක්වූ තිෂ්බිය එලියා ආහබ්ට කථාකොට: මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේයයි කීයේය. 2ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: 3මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. 4ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක. 5ඔහු ගොස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසයකෙළේය. 6කපුටුවෝ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය; ඔහු ඔයෙන් වතුර බීවේය. 7තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිදී ගියේය.
8 ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: 9නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක. 10එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය. 11ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය. 12එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය. 13එලියා ඈට කථාකොට: භය නොවන්න; ගොස් නුඹ කී හැටියට කරන්න. එහෙත් පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න, පසුව නුඹටත් නුඹේ පුත්‍රයාටත් සාදාගන්න. 14මක්නිසාද ස්වාමීන්වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවරවෙන්නේවත් තෙල් කුලාව අඩුවෙන්නේවත් නැතැයි ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සේකැයි කීවේය. 15ඈ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. 16ස්වාමීන්වහන්සේ එලියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ප්‍රකාරයට පිටි මුට්ටිය නිම නොවීය, තෙල් කුලාවද අඩුනොවීය. 17ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය. 18එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය. 19ඔහුද: නුඹේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය. 20තවද ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණවූසේක්ද? කියා 21තුන්වරක් ළමයා පිට දිගාවී ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණේවයි කීවේය. 22ස්වාමීන්වහන්සේ එලියාගේ හඬට ඇහුම්කන්දුන්සේක; ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත්වුණේය. 23එලියා ළමයා රැගෙන උඩුමහලින් ගෙට ගෙනැවිත් ඔහුගේ මවුට දී: මෙන්න, නුඹේ පුතා ජීවත්ව සිටීයයි කීවේය. 24ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in