1 කොරින්ති 12:1-14
1 කොරින්ති 12:1-14 SROV
සහෝදරයෙනි, ආත්මික දීමනා ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලා අන්‍යදෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම නුඹලා ගොළු දේවතාරූප වෙතට ගෙනයනු ලැබූබව නුඹලා දන්නහුය. එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි. ඉතින් නානාප්‍රකාර දීමනා ඇත්තේය, නුමුත් එක ආත්මයාණන් වහන්සේය. නානාප්‍රකාර සේවයකිරීම් ඇත්තේය, නුමුත් එක ස්වාමීන්වහන්සේය. නානාප්‍රකාර ක්‍රියාකිරීම් ඇත්තේය, නුමුත් සියල්ලන් තුළෙහි සියල්ල කරවන්නේ එක දෙවියන්වහන්සේය. නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මයාණන්වහන්සේ තුළ තවත් කෙනෙකුට සුවකිරීමේ දීමනාවද, තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය. නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක. මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක. මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. මක්නිසාද ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවයෝය.





