YouVersion Logo
Search Icon

රෝම 11:1-18

රෝම 11:1-18 SROV

එසේවී නම් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැරදැමූසේක්දැයි අසමි. එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ ඉශ්‍රායෙලිතයෙක්ය. දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්: ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය. නුමුත් දෙවියන්වහන්සේගේ උත්තරය ඔහුට කුමක් කියන්නේද? බාල්ට දණ නොනැමූ සත් දහසක් මනුෂ්‍යයන් මටම ඉතුරුකරගතිමියි යනුය. එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි. ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද? ඉශ්‍රායෙල් සොයන දේ ඔහු ලබා නොගත්තේය; තෝරාගනු ලැබූවන්ට එය ලැබුණේය, සෙස්සෝ දැඩිකරනු ලැබුවෝය. කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක. තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා. නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා, නිතරම ඔවුන්ගේ පිට නැමුව මැනවයි කියයි. එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ. ඉඳින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සම්පතද ඔවුන්ගේ අලාභය අන්‍යජාතීන්ට සම්පතද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණත්වය ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නුමුත් මම අන්‍යජාතීවූ නුඹලාට කථාකරමි. මම අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරවකරමි. කුමටද? යම් හෙයකින් මාගේම මාංසය වූවන්ට ජ්වලිතය උපදවා, ඔවුන්ගෙන් සමහරෙක් ගළවාගන්න පිණිසය. මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද? තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය. නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්, අතුවලට විරුද්ධව පාරට්ටුකර නොගන්න. නුමුත් පාරට්ටුකරගන්නෙහි නම්, නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹව දරන්නේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy