YouVersion Logo
Search Icon

එළිදරව් 4

4
සිංහාසනයෙහි වැඩ සිටින දෙවියන්වහන්සේ ගැන දර්ශනය
1ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය. 2එකෙණෙහිම මම ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන්සේක; 3එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. 4ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි. 5සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය; 6සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය. 7පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය. 8එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති. 9ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල, 10වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා: 11අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy