YouVersion Logo
Search Icon

ගීතාවලිය 104

104
දෙවියන්වහන්සේගේ මැවිල්ල ගැන ප්‍රශංසාව
1මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව;
මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක;
ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
2ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක;
වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
3ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක;
වලාකුල් ස්වකීය රථය කරගන්නසේක;
හුළං නමැති පියාපත් පිට යනසේක.
4උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
5පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
6උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක;
ජලය කඳුවලට ඉහළින් විය.
7ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය;
ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.
8ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
9ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.
10උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක.
ඒවා කඳු අතරේ ගලායයි.
11ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි;
වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති.
12ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති.
13උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක.
පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.
14උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
15මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
16 ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;
17එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති.
මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
18උස් කඳු වල් එළුවන්ටය;
පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.
19උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක.
සූර්යයා තමාගේ බැසයාම දනියි.
20ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ;
එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.
21තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
22හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති.
23මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.
24 ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද!
ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක.
පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.
25අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
26එහි නැව් යති;
එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
27උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
28ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති;
ඔබගේ අත විදහන කල යහපතින් තෘප්තියට පැමිණෙති.
29ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති;
ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයෙති.
30ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති;
ඔබ පොළෝතලය අලුත් කරනසේක.
31 ස්වාමීන්ගේ මහිමය සදාකල් පවතීවා;
ස්වාමීන්වහන්සේ ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂවනසේක්වා.
32උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ;
උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
33දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි.
මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
34මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා.
මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
35පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා.
දුෂ්ටයෝ තවත් නොසිටිත්වා.
මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy