YouVersion Logo
Search Icon

පිලිප්පි 2

2
එක්සත්වීමටත් යටහත්වීමටත් අනුශාසනාව
1ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්, 2නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න. 3පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. 4නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.
කුරුසිය දක්වා ක්‍රිස්තුස්වහන්සේගේ පහත්වීම ඇදහිලිවන්තයාගේ මහත් ආදර්ශය බව
5ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. 6උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, 7එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. 8මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. 9එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. 10එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, 11යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
ගැළවීම වනාහි කල්ක්‍රියාවෙහි යෙදවිය යුතු බව
12එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න; 13මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය. 14වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. 15ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය. 16මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය. 17එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි. 18එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.
සභා සේවක තිමෝතියස් සහ එපප්‍රොදිතස්
19මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි. 20මක්නිසාද නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. 21මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය. 22ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය. 23එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි. 24මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි. 25එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, නුඹලාගේ ප්‍රේරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාදවූ එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි. 26මක්නිසාද ඔහු නුඹලා හැමදෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව නුඹලා ඇසූ බැවින් ඉතා කනගාටුවෙන් සිටියේය. 27එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක. 28එබැවින් නුඹලා ඔහු නැවත දැක ප්‍රීතිවෙන පිණිසත් මාගේ සෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන්කොට එවීමි. 29එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න; එබඳු අය ගරුකොට සලකන්න. 30මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy