YouVersion Logo
Search Icon

ගණන් කථාව 5

5
කඳවුර අපවිත්‍රවීම පිළිබඳ අණපනත්
1තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න. 3එසේ ගෑනු පිරිමි දෙගොල්ල යවන්න; මා ඔවුන්ගේ කඳවුරු මැද වාසයකරන බැවින් ඔවුන් ඒවා අපවිත්‍ර නොකරන පිණිස ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැයි කීසේක. 4ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට ඔවුන් කඳවුරෙන් පිටතට ඇරියෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙසම ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.
5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 6ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කර ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම, 7ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා. 8නුමුත් වන්දියේ ගණන ලබන්ට ඒ මනුෂ්‍යයාට නෑයෙක් නැත්නම් වරද ගැන තමා උදෙසා සමඟිකමක් කිරීමට වරදකාරයා දෙන බැටළුවා හැර ස්වාමීන්වහන්සේට දෙන වන්දියේ ගණනත් පූජකයාට වන්නේය. 9ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය. 10එක එක මනුෂ්‍යයාගේ විශුද්ධ දේ ඔහුට වන්නේය. යම් මනුෂ්‍යයෙක් පූජකයාට දෙන කොයි දේත් ඔහුට වන්නේයයි කියන්නැයි කීසේක.
11 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 12ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරද්දක් කර, 13පුරුෂයෙක් ඈ සමඟ සයනය කරන්නේ නම්, එය ඇගේ පුරුෂයාගෙන් සැඟවී රහස්ව තිබේ නම්, ඈ අපවිත්‍රව සිටින නමුත් ඈට විරුද්ධ සාක්ෂියක් නැත්තේවී නම්, ඈ වරද කරද්දී අසුනොවීනම්, 14ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්, 15ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා. 16එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා, 17මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා, 18ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන, 19ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා. 20එහෙත් නුඹේ පුරුෂයා යටතේ සිටියදී නුඹ අහක්ව ගොස් කිලුටුවීනම්, නුඹේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු නුඹ සමඟ සයනයකෙළේනම්, 21ස්වාමීන්වහන්සේ නුඹේ කළවය ක්ෂයවීයන්ටත් නුඹේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ නුඹේ සෙනඟ අතරෙහි නුඹ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා. 22බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර නුඹේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්,#5:22 එනම්, එසේමය. ආමෙන්යයි කියාවා. 23එවිට පූජකයා මේ ශාප පොතක ලියා එය තික්ත වතුරට සෝදා දමා, 24ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය. 25පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්, 26ආහාර පූජාවේ සිහිවීමේ කොටසක් කොට එයින් අහුරක් ගෙන පූජාසනය පිට දවාවා, පසුව ඔහු ඒ වතුර ස්ත්‍රියට බොන්ට සලස්වාවා. 27එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරුද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය. 28නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය. 29කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ, 30මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය. 31එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy