YouVersion Logo
Search Icon

නෙහෙමියා 6:1-9

නෙහෙමියා 6:1-9 SROV

කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය. එවිට සන්බලාට්ද ගෙෂෙම්ද: එන්න, අපි ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක සම්මුඛවෙමුයයි මට කියා එවුවෝය. නුමුත් ඔව්හු මට අනතුරු කරන්ට සිතුවෝය. මම ඔවුන් ළඟට පණිවිඩකාරයන් යවමින්: මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැරදමා නුඹලා වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමටදැයි කියෙවුවෙමි. ඔව්හු මේ ප්‍රකාරයට සතර වරක් මට කියා එවුවෝය; මම වනාහි ඒ ප්‍රකාරයට ඔවුන්ට උත්තර ඇරියෙමි. එවිට සන්බලාට් තෙම එපරිද්දෙන්ම තමාගේ සේවකයා අත නොපියෙවු ලියුමක් පස්වෙනි වරට මා ළඟට එවුවේය. එහි මෙසේ ලියා තිබුණේය: නුඹත් යුදෙව්වරුත් කැරළිගසන්ට සිතන බවත්, ඒ නිසා නුඹ පවුර ගොඩනගන බවත්, මෙයාකාරයෙන් නුඹ ඔවුන්ගේ රජවෙන්ට සිටින බවත්– යූදාහි රජෙක් සිටීයයි නුඹ ගැන යෙරුසලමෙහි ප්‍රකාශකරන්ට නුඹ ප්‍රොපේතවරුන් නියමකළ බවත් මේ ජාතීන් අතරෙහි සැලවී තිබේ, ගෂ්මු තෙමේද එසේ කියයි. ඉතින් මේ වචනවල හැටියට රජ්ජුරුවන්ට දන්වනු ලබනවා ඇත. ඒ නිසා එන්න, අපි එක්ව මන්ත්‍රණයකරගනිමු යනුයි. එවිට මම පණිවිඩයක් යවා: නුඹ කියන ඔය කාරණාවල හැටියට සිද්ධවෙලා නැත, නුඹම ඒවා නුඹේ සිතින් උපදවාගත්තෙහියයි කීමි. මක්නිසාද: ඒ වැඩ ඉෂ්ට නොවෙන හැටියට ඔවුන්ගේ අත් එයින් නවතීයයි සිතා, ඔවුන් සියල්ලෝම අප භයගන්වන්ට උත්සාහ කළෝය. එහෙත් දෙවියන්වහන්ස, දැන් මාගේ අත් සවිකළමැනව.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy