YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 9:1-29

ශු. මාර්ක් 9:1-29 SROV

තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක. සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක. උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදුකරන්ට බැරි තරම් ඉතා සුදුවී දීප්තිමත්විය. එවිට එලියා මෝසෙස් සමඟ ඔවුන්ට පෙනුණේය. ඔව්හු යේසුස්වහන්සේ සමඟ කථාකරමින් සිටියෝය. පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය. මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය. තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය. ඔව්හු හදිසියෙන් වටකර බලා, තමුන් සමඟ යේසුස්වහන්සේම මිස අන් කිසිවෙකු තවත් නුදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක. මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය. තවද ඔව්හු කථාකොට: එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ මක්නිසා කියද්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද? නුමුත් නුඹලාට කියමි–එලියා ආවේමය, ඔහු ගැන ලියා තිබෙන ලෙසම ඔව්හු තමුන් කැමතිදේ ඔහුට කළෝයයි කීසේක. ඔව්හු ගෝලයන් ළඟට ආ කල ඔවුන් අවට මහත් සමූහයක් සිටිනවාත් ලියන්නන් ඔවුන් සමඟ විවාදකරනවාත් දුටුවෝය. එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය. නුඹලා ඔවුන් සමඟ කුමක් ගැන විවාදකරනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: ආචාරීන්වහන්ස, ගොළු ආත්මයක් ආවේශවූ මාගේ පුත්‍රයා ඔබවහන්සේ ළඟට ගෙනාවෙමි. ඒ ආත්මය, ඔහුට ආවේශවන කොතැනකදී නුමුත්, ඔහු බිම හෙළන්නේය. එවිට ඔහු පෙණදමා, දත්මිටිකා, දුර්වලවේගන යන්නේය. ඒ ආත්මය දුරුකරන ලෙස මම ඔබවහන්සේගේ ගෝලයන්ට කීයෙමි; නුමුත් ඔවුන්ට බැරිවියයි කීවේය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය. මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තරදෙමින්: ළදරු කාලේ පටන්ය. තවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශකරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්ට පුළුවන් නම්, අපට අනුකම්පාකර පිහිටවුව මැනවයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක. එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි මොරගසා කීවේය. සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණකරමියි කීසේක. එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය. නුමුත් යේසුස්වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටෙවුසේක; එවිට ඔහු නැගිට සිටියේය. උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: ඒ ආත්මය දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි රහසින් උන්වහන්සේගෙන් විචාළෝය. උන්වහන්සේද යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy