YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 6:30-56

ශු. මාර්ක් 6:30-56 SROV

ප්‍රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය. එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය. එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය. සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය. උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක. දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ඇවිත්: මේ වනාහි වනාන්තර ස්ථානයක්ය, දවාල බොහෝසේ ගෙවී තිබේ. ඔවුන් අවට තිබෙන ජනපද යට හා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කීවෝය. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. නුඹලා ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු දැනගත් කල: රොටි පහකුත් මසුන් දෙන්නෙකුත්යයි කීවෝය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක. ඔව්හු පේළි වශයෙන් සියය බැගින්ද පණහ බැගින්ද ඉඳගත්තෝය. උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන, ස්වර්ගය දෙස බලා ස්තුතිකොට, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී, මසුන් දෙදෙනත් ඔවුන් සියල්ලන්ට බෙදාදුන්සේක. සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරි කැබලිවලින්ද මසුන්ගෙන්ද පැස් දොළොසක් පුරවාගත්තෝය. රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය. එකෙණෙහිම උන්වහන්සේ සමූහයා යවන අතර, තමන්ට පළමුවෙන් ඔරුවට නැගී බෙත්සයිදාවට එගොඩ යන්ට තමන්ගේ ගෝලයන්ට සැලැස්සූසේක. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක. සවස්වූ කල ඔරුව මුහුද මැද තිබුණේය, උන්වහන්සේ වනාහි තනියම ගොඩ සිටිසේක. සුළඟ ඔවුන්ට විරුද්ධව තිබුණු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර විඳිනවා උන්වහන්සේ දැක, රෑ සතරවෙනි යාමය පමණේදී ඔවුන් වෙතට මුහුද පිට පයින් යමින්, ඔවුන් පසුකර යන්ට හැදූසේක. ඔව්හු උන්වහන්සේ මුහුද පිට පයින් යනවා දැක, අවතාරයකැයි සිතා මොරගැසූහ. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ දැක කැලඹුණෝය. නුමුත් උන්වහන්සේ එකෙණෙහිම ඔවුන් සමඟ කථාකොට: ධෛර්යවත්ව සිටින්න. මමය; භය නොවෙන්නැයි කියා, ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය; මක්නිසාද ඔවුන්ගේ සිත් දැඩිව තිබුණු බැවින් රොටි පිළිබඳ කාරණය ඔව්හු තේරුම් නොගත්තෝය. ඔව්හු එගොඩ ගෙන්නෙසරෙත් රටට පැමිණ ඔරුව වෙරළේ බැන්දෝය. ඔවුන් ඔරුවෙන් බැස්ස කෙණෙහිම මිනිස්සු උන්වහන්සේ හැඳින, එහි වටකර රට මුළුල්ලේ දුවගොස්, උන්වහන්සේ සිටින බව ඇසූ ඇසූ තැන්වලට රෝගාතුරයන් යහන් පිටින් උසුලා ගෙනෙන්ට පටන්ගත්තෝය. යම්කිසි ගමකට හෝ නුවරකට හෝ ජනපදයකට හෝ උන්වහන්සේ ඇතුල්වූසේක්ද, එතැන්හි ඔව්හු රෝගාතුරයන් කඩපිල්වල තබා, ඔවුන්ට උන්වහන්සේගේ සළුවේ දාවල්ලට පමණවත් අතගසන්ට ඉඩදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලන්ටම සුවය ලැබුණේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy