YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 4:1-20

ශු. මාර්ක් 4:1-20 SROV

නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය. උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්: අසන්න–වපුරන්නා වපුරන්ට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය: සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී, ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය. තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය. ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක. උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය. එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියනු ලැබේ. මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි. වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය. එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්. කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්, මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති. සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy