YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 16

16
යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම
1සබත් දවස පසුවූ කල මග්දලායේ මරියාද යාකොබ්ගේ මවුවූ මරියාද සලෝමිද ඇවිත් උන්වහන්සේ ආලේපකරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලේට ගෙන, 2සතියේ පළමුවෙනිදා ඉතා උදය ඉර පෑවූ කල සොහොන් ගේ ළඟට ආවෝය. 3ඔව්හු: අපට සොහොන්ගෙයි දොරකඩින් ගල අහකට පෙරළා දෙන්නේ කවුදැයි ඔවුනොවුන් අතරේ කථාකළෝය. 4මක්නිසාද ඒක ඉතා මහත්ව තිබුණේය. ඔව්හු ඇස් ඔසවා බැලූ කල ගල අහකට පෙරළා තිබුණු බව දුටුවෝය. 5එකල ඔව්හු සොහොන්ගෙට ඇතුල්ව, සුදු සළුවක් පැළඳගත් තරුණයෙක් දකුණු පැත්තේ ඉඳගන ඉන්නවා දැක, භීතවූහ. 6ඔහු ඔවුන්ට කථාකොට: භීත නොවෙන්න. නුඹලා වනාහි කුරුසියෙහි ඇණගසනලද නාසරිය යේසුස්වහන්සේ සොයන්නහුය. උන්වහන්සේ නැගුටුණුසේක; උන්වහන්සේ මෙහි නැත. මෙන්න, ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය! 7නුමුත් නුඹලා ගොස්: උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යනසේකැයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතෘස්ටද කියන්නැයි කීවේය. 8ඔව්හු පිටතට ඇවිත්, සොහොන් ගෙයින් පලාගියෝය; මක්නිසාද වෙවුලුම සහ විස්මයත් ඔවුන් කෙරෙහි පැමිණ තිබුණේය. ඔව්හු භයව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකීවෝය.
යේසුස්වහන්සේගේ ප්‍රකාශවීම හා ස්වර්ගයට නැගීම
9උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය. 10ඈ ගොස් උන්වහන්සේ සමඟ සිටි අය අඬමින් වැලපෙමින් සිටිද්දී ඔවුන්ට දැන්නුවාය. 11උන්වහන්සේ ජීවත්ව සිටින බවද ඈ විසින් දක්නාලද බවද ඇසූ විට ඔව්හු අවිශ්වාසකළෝය.
12ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශවූසේක. 13ඔව්හු ගොස් අනික් අයට දැන්නුවෝය. ඔව්හු ඔවුන්වත් විශ්වාස නොකළෝය.
14පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක. 15උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. 16අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. 17අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; 18සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.
19මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක. 20ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy