YouVersion Logo
Search Icon

ශු. මාර්ක් 14:27-53

ශු. මාර්ක් 14:27-53 SROV

එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම බාධාවන්නහුය. මක්නිසාද–මම එඬේරාට පහරදෙන්නෙමි, එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝයයි ලියා තිබේ. එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු නුඹලාට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක. එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය. යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය. ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා, මඳක් ඉස්සරහට ගොස්, බිම වැටී, පුළුවන් නම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාච්ඤාකරමින්: අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක. උන්වහන්සේ ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: සීමොන්, නුඹ නිදාඉන්නවාද? නුඹට එක පැයක් අවදිව ඉන්ට බැරිවුණ ද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක. උන්වහන්සේ නැවතත් ගොස් එම වචනම කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය. උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක. එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා කථාකොට: මම යමෙකු සිඹගනිම්ද ඒ ඔහුය; ඔහු අල්ලා ප්‍රවේසමෙන් අරගන යන්නැයි ලකුණක් ඔවුන්ට දී තිබුණේය. ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය. ඔව්හුද උන්වහන්සේ පිට අත්හෙළා උන්වහන්සේ අල්ලාගත්තෝය. ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මම දේව මාළිගාවේ උගන්වමින් දවස්පතා නුඹලා සමඟ සිටියෙමි, නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් ලියවිලි සම්පූර්ණවෙන පිණිස මෙසේ සිදුවීයයි කීසේක. එවිට සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය. තමාගේ නග්න ශරීරයෙහි හණ රෙද්දක් පොරාගත් එක්තරා තරුණයෙක් උන්වහන්සේ පස්සේ ගියේය. ඔව්හු ඔහු ඇල්ලුවෝය; නුමුත් ඔහු හණ රෙද්ද අත්හැර, නග්නව පලාගියේය. ඔව්හු යේසුස්වහන්සේ උත්තම පූජකයා වෙතට ගෙනගියෝය. සියලු නායක පූජකයෝද වැඩිමහල්ලෝද ලියන්නෝද ඔහු සමඟ රැස්වුණෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy