YouVersion Logo
Search Icon

ශු. මතෙව් 8:18-34

ශු. මතෙව් 8:18-34 SROV

යේසුස්වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක, එගොඩට යන්ට අණදුන්සේක. එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක. ගෝලයන්ගෙන් තවත් කෙනෙක්: ස්වාමිනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භුමදානකරන්ට මට ඉඩ දුන මැනවයි කීවේය. යේසුස්වහන්සේද: මා අනුව එන්න; මළාහු තමුන්ගේ මළවුන් භූමදානකරත්වයි ඔහුට කීසේක. උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය. බලව, ඔරුව රැළවලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. උන්වහන්සේ නිදා හුන්සේක. එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ස්වාමිනි, අප ගැළවුව මැනව; අපි විනාශවෙමුයයි කීවෝය. උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය. ඒ මනුෂ්‍යයෝ මවිතව: මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවෙනවායයි කීවෝය. උන්වහන්සේ එගොඩව ගදරීනයන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශවූ දෙදෙනෙක් සොහොන් ගෙවල්වලින් පිටත්ව උන්වහන්සේගේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බවිය. ඔවුන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරෙන් කිසිවෙකුට යන්ට නුපුළුවන් විය. බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය. ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය. යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එවිට ඔව්හු පිටවී ගොස් ඌරන්ට වැහුණෝය. බලව, ඒ මුළු රැළ ප්‍රපාතය දිගේ මුහුදට වේගයෙන් දිවගොස්, ජලයෙහි වැටී මළෝය. ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය. එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy