YouVersion Logo
Search Icon

ශු. මතෙව් 8:1-17

ශු. මතෙව් 8:1-17 SROV

උන්වහන්සේ කන්දෙන් බැස්ස කල බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය. බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය. උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය. යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක. උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්: ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත්ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පළව ඉඳීයයි කීවේය. මම ඇවිත් ඔහු සුවපත්කරමියි උන්වහන්සේ ඔහුට කීසේක. සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය. මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මනුෂ්‍යයෙක්ය, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට: යවයි මා කී කල, ඔහු යන්නේය; තව කෙනෙකුට: එවයි කී කල, ඔහු එන්නේය; මාගේ දාසයාට: මේක කරවයි කී කල, ඔහු ඒක කරන්නේයයි කීවේය. යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි. තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය. එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක. යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; නුඹ අදහාගත් ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය. යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක. මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy