YouVersion Logo
Search Icon

ශු. මතෙව් 24:1-28

ශු. මතෙව් 24:1-28 SROV

යේසුස් වහන්සේ දේව මාළිගාවෙන් නික්ම යන කල මාළිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක. උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය. නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය. අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. නුමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැළවෙන්නේය. රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය. එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා), එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා. ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා. නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ. නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න. මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය. එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. බලව, මම නුඹලාට කලින් කීවෙමි. එබැවින් ඔව්හු නුඹලාට කථාකොට: අන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න. මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy