YouVersion Logo
Search Icon

ශු. මතෙව් 14:22-36

ශු. මතෙව් 14:22-36 SROV

එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට බලකළසේක. උන්වහන්සේ සමූහයන් යැවූ පසු, යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක. එහෙත් හුළඟ ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය. රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය. එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක. පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය. එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය. නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය. එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය. ඔව්හු එගොඩවී, ගෙන්නෙසරෙත් නම් රටට පැමිණියෝය. ඒ රටේ මනුෂ්‍යයෝ උන්වහන්සේ ඇඳින, එහි වටකර මුළු රටට කියා ඇර, සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා, උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy