YouVersion Logo
Search Icon

ශු. ලූක් 8:1-25

ශු. ලූක් 8:1-25 SROV

ඉන්පසු උන්වහන්සේ දේශනාකරමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශකරමින්, නුවරවලත් ගම්වලත් සංචාරණයකළසේක; උන්වහන්සේ සමඟ ගෝලයෝ දොළොස්දෙනාද, දුෂ්ටාත්මවලින් හා දුර්වලකම්වලින් සුවවුණාවූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සත්දෙනෙක් දුරුව ගියාවූ මග්දලේනා නම් මරියාද, හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළවෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය. මහත් සමූහයක් රැස්වූ කලද ඒ ඒ නුවරින් මනුෂ්‍යයන් උන්වහන්සේ වෙත පැමිණි කලද උන්වහන්සේ උපමාවකින් කථාකරනසේක්: වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුණේය; ඒවා පයින් පාගනලද්දේය, ආකාශ පක්ෂීහු ඒවා අවුලා කෑවෝය. තවත් ඒවා ගල පිට වැටී, පැළවූ කෙණෙහිම, දියසීරාව නැති බැවින් වියළී ගියේය. තවත් ඒවා කටු අතරේ වැටුණේය; කටුද ඒවා සමඟ වැවී, ඒවා යටකරදැම්මේය. තවත් ඒවා සරුබිමේ වැටී, පැළවී, එකෙන් සියයක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා: අසන්ට කන් ඇත්තේ අසාවයි ශබ්දනගා කීසේක. උන්වහන්සේගේ ගෝලයෝ මේ උපමාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ. නුමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමාවලින් කියනු ලැබේ. ඉඳින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන්වහන්සේගේ වචනයය. මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය. ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය. කටු අතරේ වැටුණ ඒවා නම් වචනය අසා, තමුන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙසීම්වලින්ද වස්තුවෙන්ද සැපජීවිකාවෙන්ද වචනය යටව, සම්පූර්ණ ඵල නොදරන්නෝය. සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන්නෝය. කිසිවෙක් පහනක් දල්වා භාජනයකින් නොවසයි; ඇඳක් යටද නොතබයි; නුමුත් ඇතුල්වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබයි. මක්නිසාද එළිදරව්කරනු නොලබන සඟවනලද දෙයක් නැත; නොහොත් දැනගනු නොලබන්නාවූ එළිදරව් නොවන්නාවූ කිසි රහසක්ද නැත. එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක. උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ වෙතට ආවෝය, නුමුත් සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නුපුළුවන්විය. එවිට: ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ දකිනු කැමතිව පිටත සිටිතියි උන්වහන්සේට කියනලද්දේය. එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වදාළසේක. තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවකට නැගී: අපි විලෙන් එගොඩ යමුයයි ඔවුන්ට කීසේක. එවිට ඔව්හු ඔරුව දියත්කළෝය. ඔවුන් යාත්‍රාකරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුළඟක් විලට පහත්වී ඒ පිට හැමුවේය; ඔරුවට වතුර පිරෙමින් ඔව්හු අන්තරායට පැමින්නෝය. ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, ආචාරිනි, අපි විනාශවෙනවායයි කීවෝය. උන්වහන්සේ පිබිද, හුළඟටත් චණ්ඩ රැළගැසීමටත් සැරකළසේක. එකල ඒවා නැවතී නිශ්චලයක් විය. නුඹලාගේ ඇදහිල්ල කොයිදැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු භයව විස්මපත්වෙමින්: මුන්වහන්සේ කවුද? හුළඟටත් වතුරටත් අණකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරුවෙතියි කියා ඔවුනොවුන් කථාකළෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy