YouVersion Logo
Search Icon

ශු. ලූක් 22:47-71

ශු. ලූක් 22:47-71 SROV

උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය. යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක. උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. නුමුත් යේසුස්වහන්සේ උත්තරදෙමින්: මෙපමණකට ඉඩදෙන්නය කියා, ඔහුගේ කන අතගා සුවකළසේක. යේසුස්වහන්සේ තමන්ට විරුද්ධව ආවාවූ නායක පූජකයන්ටද දේවමාළිගාවේ අධිපතීන්ටද වැඩිමහල්ලන්ටද කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරු රැගෙන ආවාහුද? දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක. ඔව්හු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු, උත්තම පූජකයාගේ ගෙදරට ගෙනගියෝය. එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය. නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය. ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය. පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය. ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට, පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය. එකල යේසුස්වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම්කරමින්, පහර දුන්නෝය. ඔව්හු උන්වහන්සේගේ ඇස් බැඳ: නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් කියන්නැයි උන්වහන්සේට කීවෝය. ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය. පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්: නුඹ ක්‍රිස්තුස් නම් අපට කියන්නැයි කීවෝය. උන්වහන්සේද: මා නුඹලාට කීවත් නුඹලා විශ්වාසකරන්නේ නැත; මා නුඹලාගෙන් ඇසුවත් නුඹලා උත්තරදෙන්නේ නැත. නුමුත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩහිඳිනවා ඇතැයි ඔවුන්ට කීසේක. ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද? මක්නිසාද ඔහුගේම කටින් කියනවා අපිම ඇසීමුයයි කීවෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy