YouVersion Logo
Search Icon

ශු. ලූක් 22:21-46

ශු. ලූක් 22:21-46 SROV

එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක. එවිට, ඒක කරන්ට යන්නේ ඔවුන්ගෙන් කවරෙක්දැයි ඔව්හු තමුන් අතරේම විචාරන්ට පටන්ගත්තෝය. ඔවුන්ගෙන් ඉතා උතුම්කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක්ද හටගත්තේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අන්‍ය ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අධිපතිකම් පවත්වති; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ වනාහි උපකාරකාරයෝයයි කියනු ලබති. නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද? කෑමට හිඳින තැනැත්තාද? නොහොත් උපස්ථානකරන්නාද? කෑමට හිඳින තැනැත්තේ නොවේද? නුමුත් මම වනාහි නුඹලා මධ්‍යයෙහි උපස්ථානකරන්නා මෙන් වෙමි. මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය. එබැවින් මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම, මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය. සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක. ඔහුද: ස්වාමීනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුමුත් දැන් පසුම්බියක් ඇත්තෙක් ඒක ගනීවා, එසේම මල්ලකුත් ගනීවා. කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා, කඩුවක් මිලේට ගනීවා. මක්නිසාද නුඹලාට කියමි–උන්වහන්සේ අපරාධකාරයන් සමඟ ගණන්ගනු ලැබූසේකැයි ලියා තිබෙන මේ දේ මා කෙරෙහි සම්පූර්ණවිය යුතුය; මක්නිසාද මා ගැන ලියා තිබෙන දේ සම්පූර්ණවන්නේයයි කීසේක. ඔව්හු: ස්වාමිනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි තිබේයයි කීවෝය. උන්වහන්සේද: ඇතැයි ඔවුන්ට කීසේක. එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක. ගලක් ගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී, දණින් හිඳ යාච්ඤා කරමින්: පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්කළේය. උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය. උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක: නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy