YouVersion Logo
Search Icon

ශු. ලූක් 20:27-47

ශු. ලූක් 20:27-47 SROV

නැවත-නැගිටීමක් නැතැයි කියන්නාවු සද්දුසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ. ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය. දෙවෙනියාත් තුන්වෙනියාත් ඈ පාවාගත්තෝය; සත්දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය. පසුව ස්ත්‍රීත් මළාය. සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. යේසුස්වහන්සේද: මේ ලෝකයේ දරුවෝ සරණපාවාගනිති, සරණපාවාදෙනු ලබති. නුමුත් ඒ ලෝකයටත් නැවත-නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝයයි ගණන්ගනු ලබන අය සරණපාවාගන්නේවත් සරණපාවාදෙනු ලබන්නේවත් නැත. මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හු දේවදූතයන් හා සමානවෙති; නැවත-නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. නුමුත් මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පාවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ. උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක. එවිට ලියන්නන්ගෙන් සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ කීවා යහපතැයි කීවෝය. මක්නිසාද උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට ඔවුන්ට තවත් ධෛර්යය නොතිබුණේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ක්‍රිස්තුස් වනාහි දාවිත්ගේ පුත්‍රයායයි ඔවුන් කියන්නේ කෙසේද? මක්නිසාද: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි දාවිත්ම ගීතිකා පොතේ කියා තිබේ. මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන්වහන්සේයයි කියයි, ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුත්‍ර වන්නේ කෙසේදැයි කීසේක. මුළු සෙනඟ අසමින් සිටියදී උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති, වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy