YouVersion Logo
Search Icon

ශු. ලූක් 20:1-26

ශු. ලූක් 20:1-26 SROV

තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න: යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත. මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා, කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය. එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක. උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය. ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය. පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය. නැවතද ඔහු තුන්වෙනියෙකු යැවීය. ඔව්හු ඔහුටත් තුවාලකොට පිටතට දැම්මෝය. එවිට මිදිවත්තේ ස්වාමියා කථාකොට: මම මක්කරම්ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරවකරනවා ඇතැයි කීවේය. නුමුත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් කථාකොට: මොහු උරුමක්කාරයාය. උරුමය අපට වෙන පිණිස මොහු මරමුව කියා, ඔහු මිදිවත්තෙන් පිටත දමා මැරුවෝය. එහෙයින් මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කුමක්කරනවා ඇද්ද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන් දෙස බලා: එසේවී නම්, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය යන ලියවිල්ලේ අර්ථය මොකද? ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක. නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය. ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය. ඔව්හු: ආචාරීන්වහන්ස, ඔබ යුතුලෙස කථාකරන බවත් උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, සැබෑලෙස දෙවියන්වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමුව. කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න. එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. සෙනඟ ඉදිරියෙහිදී උන්වහන්සේගේ කීම අල්ලාගන්ට බැරිවිය. ඔව්හු උන්වහන්සේගේ උත්තරයට පුදුමව, නිශ්ශබ්දව සිටියෝය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy