YouVersion Logo
Search Icon

ශු. ලූක් 16:1-12

ශු. ලූක් 16:1-12 SROV

තවද උන්වහන්සේ ගෝලයන්ට කියන සේක්: එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේය; ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්තිකෙරේයයි ඔහුට දන්වනලද්දේය. එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා: නුඹ ගැන මා අසන මේ කාරණය කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දෙන්න; මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්ට නුපුළුවනැයි කීවේය. ගබඩාකාරයාද: මාගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගෙන් පැහැර ගන්න නිසා කුමක් කරම්ද? බිම කොටන්ට මට ශක්තිය නැත; සිඟන්ට ලජ්ජාවෙමි. ගබඩාකාර තනතුරෙන් මා අහක්කළ කල්හි; ඔවුන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, මා විසින් කුමක් කටයුතුදැයි නියමකරගෙන සිටිමියි තමා තුළම කියාගත්තේය. මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක එකා බැගින් අඬගස්වා, පළමුවෙනියාට කථාකොට: මාගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. තෙල් බාත් සියයකැයි ඔහු කීවේය. ඔහු කථාකොට: නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන, පනසකැයි ලියන්නැයි ඔහුට කීවේය. තවත් කෙනෙකුට: නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු සියයකැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන අසූවකැයි ලියන්නැයි ඔහුට කීවේය. අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය. මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත. ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි. එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද? අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද?

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy