YouVersion Logo
Search Icon

යෝෂුවා 24

24
යෝෂුවාගේ දෙවෙනි අවසාන කථාව සහ මරණය
1පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය. 2යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–පූර්වකාලයෙහි නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය. 3මම වනාහි ඒ ගංගාව එතරින් නුඹලාගේ පියවූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩිකෙළෙමි, මම ඔහුට ඊසාක් දුනිමි. 4ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය. 5මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව නුඹලා පිටතට ගෙනායෙමි. 6මා විසින් නුඹලාගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල නුඹලා මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව නුඹලාගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය. 7ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල උන්වහන්සේ නුඹලාටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි නුඹලා බොහෝ දවස් වාසයකළහුය. 8තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනායෙමි; ඔව්හු නුඹලාට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි, නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම නුඹලා ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි. 9එකල ශිප්පෝර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක් නැගිට ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකර, නුඹලාට ශාපකරන පිණිස බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ට අඬගසා හැරියේය. 10එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු නුඹලාට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් නුඹලා ගැළවීමි. 11නුඹලා යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද නුඹලාට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි. 12මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි, උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් එළෙවුවෝය; ඒක වුණේ නුඹේ කඩුවෙන්වත් නුඹේ දුන්නෙන්වත් නොවේ. 13මෙසේ නුඹලා වැඩ නොකර ලබාගත් දේශයක්ද නුඹලා ගොඩනොනැගූ නුවරවල්ද නුඹලාට දුනිමි, නුඹලා එහි වසන්නහුය; නුඹලා නොවැවූ මිදි වතුවලින්ද ඔලීව වතුවලින්ද නුඹලා එල කන්නහුයයි කීසේක. 14එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න. 15ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය. 16සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා; 17මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, උන්වහන්සේමය. 18ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය. 19යෝෂුවා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේට සේවයකරන්ට නුඹලාට බැරිය; මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ දෙවිකෙනෙක්ය; ස්වකීය ගෞරවය රක්ෂාකරන දෙවිකෙනෙක්ය; උන්වහන්සේ නුඹලාගේ අපරාධද පාපද කමානොකරනසේක. 20ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය. 21සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය. 22යෝෂුවාද: ස්වාමීන්වහන්සේට සේවයකිරීමට නුඹලා විසින් උන්වහන්සේ තෝරාගත් බවට නුඹලා නුඹලාටම විපක්ෂ සාක්ෂිකාරයෝයයි සෙනඟට කීවේය. ඔව්හු: අපි සාක්ෂියයි කීවෝය. 23එසේ වී නම් නුඹලා අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ සිත් යොමුකරන්නැයි ඔහු කීවේය. 24සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය. 25මෙසේ යෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හිදී සෙනඟ සමඟ ගිවිසුමක් කොට, ඔවුන්ට පනතක්ද නියෝගයක්ද නියමකෙළේය.
26යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා, 27මුළු සෙනඟට කථාකොට: මෙන්න, මේ ගල අපට විරුද්ධව සාක්ෂියක් පිණිස තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට කී උන්වහන්සේගේ සියලු වචන ඊට ඇසුණේය. එබැවින් නුඹලා විසින් නුඹලාගේ දෙවියන්වහන්සේ එපානොකරන පිණිස ඒක නුඹලාට විරුද්ධව සාක්ෂියක් පිණිස වන්නේයයි කීවේය. 28පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.
29මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය. 30ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ. 31ඉශ්‍රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේට සේවයකළෝය. 32තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය. 33ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.

Currently Selected:

යෝෂුවා 24: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy