YouVersion Logo
Search Icon

ජෝබ් 1:13-22

ජෝබ් 1:13-22 SROV

තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය. පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී, තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය. එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ: නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය. මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy