YouVersion Logo
Search Icon

ශු. යොහන් 13:21-38

ශු. යොහන් 13:21-38 SROV

යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක. ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය. යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්වූ උන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා මේසයෙහි උන්වහන්සේගේ ළයට හාන්සිවී උන්නේය. එබැවින් සීමොන් පේතෘස් ඔහුට සංඥාකොට: උන්වහන්සේ කා ගැන කථාකරනසේක්දැයි (අපට) කියන්නැයි ඔහුට කීවේය. ඔහු යේසුස්වහන්සේගේ ළයට හාන්සිව හිඳිමින්ම: ස්වාමීනි, ඒ කවුදැයි උන්වහන්සේට කීවේය. එවිට යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කැබෙල්ල පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහුමයයි කීසේක, මෙසේ උන්වහන්සේ කැබෙල්ල පොඟවා සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ට දුන්සේක. කැබෙල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශවිය. එබැවින් යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ කරන දේ ඉක්මනට කරන්නැයි ඔහුට කීසේක. මෙය කුමක් නිසා ඔහුට කීසේක්දැයි කෑමට හිඳගත්තවුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත. මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දැරූ බැවින්, මංගල්‍යයට ඕනෑ දේ මිලේට ගන්න, නොහොත් දිළිඳුන්ට යමක් දෙන්න කියා යේසුස්වහන්සේ ඔහුට කීසේකැයි සමහරු සිතුවෝය. එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්‍රියද විය. ඔහු පිටතට ගිය කල යේසුස්වහන්සේ කියනසේක්: දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමුණුණේය, දෙවියන්වහන්සේද ඔහු තුළ මහිමයට පැමිණිසේක; දෙවියන්වහන්සේ තමන් තුළම ඔහුව මහිමයට පමුණුවනසේක, උන්වහන්සේ ඔහුව වහාම මහිමයට පමුණුවනසේක. දරුවෙනි, මා නුඹලා සමඟ සිටින්නේ තව ස්වල්ප වේලාවක්ය. නුඹලා මා සොයනවා ඇත. මා යන තැනට එන්ට නුඹලාට බැරියයි යුදෙව්වරුන්ට කී ලෙසම දැන් නුඹලාටත් කියමි. මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.‍ සීමොන් පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, ඔබ කොතැනට යනසේක්දැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මා යන තැනට දැන් මා අනුව එන්ට නුඹට බැරිය; නුමුත් පසුව එන්නෙහියයි කීසේක. පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි–නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy