YouVersion Logo
Search Icon

ශු. යොහන් 11:30-57

ශු. යොහන් 11:30-57 SROV

(ඒ වන තුරු යේසුස්වහන්සේ ගමට නොපැමිණ මාර්තා උන්වහන්සේට සම්මුඛවූ ස්ථානයේම සිටිසේක.) එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය. එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී: ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඇඬූසේක. එහෙයින් යුදෙව්වරු කථාකොට: මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේවූසේක්දැයි බලන්නැයි කීවෝය. නුමුත් ඔවුන්ගෙන් සමහරෙක්: අන්ධයාගේ ඇස් පැහැදුවාවූ මුන්වහන්සේට මේ තැනැත්තා නොමැරී සිටින්ට සලස්වන්ට බැරිවුණාදැයි කීවෝය. එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය. ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය. යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක. එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක. උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක. මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. එබැවින් මරියා වෙතට ආවාවූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඵරිසිවරුන් ළඟට ගොස් යේසුස්වහන්සේ කළ දේවල් ඔවුන්ට කීවෝය. එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි. අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇතැයි කීවෝය. එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඒ අවුරුද්දට උත්තම පූජකවූ කායාඑස් ඔවුන්ට කියනුයේ: නුඹලා කිසිවක්ම දන්නේ නැත, මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය. ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්, ඒ ජාතිය උදෙසා පමණක් නොව දෙවියන්වහන්සේගේ විසිරගියාවූ දරුවන් එකට රැස්කරන පිණිස මැරෙන බවත් අනාගතවාක්‍යයෙන් කීවේය. මෙසේ එදා පටන් ඔව්හු උන්වහන්සේ මරන්ට මන්ත්‍රණයකළෝය. එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක. එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය. එවිට ඔව්හු යේසුස්වහන්සේ සොයමින්: නුඹලා කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට නේනවාදෝ කියමින්, දේවමාළිගාවේ සිට ඔවුනොවුන් කථාකළෝය. උන්වහන්සේ සිටින තැන යමෙක් දනිතොත් උන්වහන්සේ අල්ලාගන්න පිණිස ඒ බව කියන්ට නායක පූජකයන් හා ඵරිසිවරුන් විසින් අණ දී තිබුණේය.

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy