YouVersion Logo
Search Icon

ජෙරෙමියා 3

3
1මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. නුඹ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. 2මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය. 3ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් නුඹ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය. 4මාගේ පියාණෙනි, ඔබ මාගේ තරුණ වයසේ මිත්‍රයාව සිටිසේකැයි නුඹ මෙවක් පටන් මට අඬ නොගසන්නෙහිද? 5උන්වහන්සේ තමන් උදහස සදාකාලේටම තබාගන්නාසේක්ද? එය කෙළවර දක්වා පවත්වනසේක්ද? මෙන්න, නුඹ මෙසේ කථාකළ නුමුත් නපුරු දේවල් කොට නුඹේ කැමැත්ත ඉෂ්ටකරගත්තෙහිය.
යූදා පමණ දෝෂකාර නොවන ඉශ්‍රායෙල්ට හැරීඑන්ට කීම
6තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ නුඹ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය. 7ඈ ඒ සියල්ල කළායින් පසු: ඈ මා වෙතට හැරීඑනවා ඇතැයි කීවෙමි; නුමුත් ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා එය දුටුවාය. 8එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි. 9ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය. 10මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක. 11තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: අහක්ව ගිය ඉශ්‍රායෙල් ද්‍රෝහිකාර යූදාට වඩා තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වා තිබේ. 12නුඹ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි. 13නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. 14අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද මම නුඹලාට ස්වාමිපුරුෂයෙක්ය. මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් නුඹලා පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි. 15මාගේ සිතට එකඟවූ එඬේරුන්ද නුඹලාට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද නුඹලා පෝෂ්‍යකරනවා ඇත. 16නුඹලා ඒ දවස්වලදී දේශයෙහි වැඩිවී සශ්‍රීකවෙන කල, මනුෂ්‍යයන්: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියයයි තවත් කියන්නේවත්, ඒ ගැන සිහිවීමක් වන්නේවත් නැත. ඔව්හු ඒ ගැන සිහි නොකරන්නෝය; ඒක නැති බවත් නොදැනෙන්නේය; ඒක තවත් සාදනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 17ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය. 18ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
සැබෑ පශ්චාත්තාපය පිළිගන්ට යෙදෙන බව
19නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි. 20එහෙත්, ඉශ්‍රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් නුඹලා මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 21හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය. 22අහක්ව ගියාවූ දරුවෙනි, හැරීඑන්න, මම නුඹලාගේ පසුබටවීම් සුවකරන්නෙමි. මෙන්න, අපි ඔබ වෙතට ඇවිත් සිටිමුව; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබම අපේ දෙවියන්වහන්සේය. 23සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ 24එහෙත් නින්දිතයා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තුද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන්ද, කාදැමුවේය. 25අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy