YouVersion Logo
Search Icon

ජෙරෙමියා 2

2
ස්වාමීන්වහන්සේට ඉශ්‍රායෙල්ගේ මහත් අවිශ්වාසකම
1තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2නුඹ ගොස්-ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි. 3ඉශ්‍රායෙල් වනාහි ස්වාමීන්වහන්සේට ශුද්ධකමව උන්වහන්සේගේ අස්වැන්නේ ප්‍රථම ඵලව සිටියේය. ඔහුව නාස්තිකරන සියල්ලෝ වරදකාරයෝ වන්නෝය; විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4එම්බා යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. 5ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද? 6මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය. 7තවද මම සාරවත් දේශයකට, නුඹලා එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස නුඹලා ගෙනාවෙමි; නුමුත් නුඹලා ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය. 8පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය. 9එබැවින් නුඹලා සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, නුඹලාගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 10මක්නිසාද නුඹලා කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න. 11යම් ජාතියක් තමුන්ගේ දෙවිවරුන් දෙවි නොවන නුමුත් ඔවුන් මාරුකළෝද? එහෙත් මාගේ සෙනඟ තමුන්ගේ මහිමය ප්‍රයෝජන නොවන දේවලට මාරුකරගත්තෝය. 12අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. 13මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය. 14ඉශ්‍රායෙල් දාසයෙක්ද? නොහොත් ඔහු ගෙයි උපන් වහලෙක්ද? ඔහු කොල්ලයක් වී සිටින්නේ මන්ද? 15තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය. 16නොප් සහ තාහ්පන්හේස්හි පුත්‍රයොත් නුඹේ ඉස්මුදුන කාදැම්මෝය. 17මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද? 18ඉතින් ෂීහෝර්හි වතුර බොන පිණිස මිසරයට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද? නොහොත් ගංගාවේ ජලය බොන පිණිස අෂූර්ට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද? 19නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක. 20මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය. 21එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද? 22නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 23මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි නුඹ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන නුඹේ හැසිරීම බලන්න, නුඹ කළේ මොකද කියා දැනගන්න. නුඹ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි; 24කාන්තාරයට පුරුදුවූ, තෘෂ්ණාවට ඉව අල්ලන්නාවූ වල් කොටළුදෙනකි; ඇගේ කාලයේදී ඈ නවත්වන්නේ කවුද? ඈව සොයන කිසිවෙක් වෙහෙසෙන්නේ නැත; ඇගේ මාසයේදී ඈ සම්බවෙයි. 25වහන් නැතුව නොතිබෙන හැටියට නුඹේ පාදද පිපාස නොවන හැටියට නුඹේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් නුඹ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය. 26හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති. 27ඔව්හු: මාගේ පියාණෝ නුඹයයි දණ්ඩකටද: නුඹ මා ඉපදෙවූවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත. 28නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
29නුඹලා මා සමඟ විවාදකරන්නේ මක්නිසාද? නුඹලා සියල්ලෝම මට විරුද්ධව කැරළිගැසුවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 30මා විසින් නුඹලාගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. නුඹලාගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් නුඹලාගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය. 31එම්බා වංශය, ස්වාමීන්වහන්සේගේ වචනය බලන්න. මම ඉශ්‍රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද? 32කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය. 33නුඹ ආදරය සොයන පිණිස නුඹ නුඹේ මාර්ග හොඳකරගන්න හැටි! එසේ නුඹ නපුරු ස්ත්‍රීන්ට පවා නුඹේ මාර්ග ඉගැන්වුවෙහිය. 34තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය. 35එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. 36නුඹේ මාර්ගය වෙනස්කරන්ට නුඹ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා නුඹ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහිය. 37එතනිනුත් නුඹ නුඹේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් නුඹ සඵල නොවන්නෙහිය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy