YouVersion Logo
Search Icon

ජෙරෙමියා 17

17
1යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නැමති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ. 2එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති. 3එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි. 4මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
5 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. 6ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත. 7ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
8මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය. 9සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද? 10ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි. 11අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.
12අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන්ගැන්මේ සිට උසස්වූ තේජවන්තවූ සිංහාසනයක්ය. 13අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ. 14ස්වාමීන්වහන්ස, මට සුවවන පිණිස මා සුවකළ මැනව; මා ගැළවෙන පිණිස ඔබ මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය. 15බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති. 16මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය. 17ඔබ මට භීතියක්ව නොසිටිය මැනව. විපත්ති දවසේදී ඔබ මාගේ රක්ෂාස්ථානයය. 18මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.
සබත් දවස සම්බන්ධ පණිවිඩය
19 ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: නුඹ ගොස් යූදාහි රජවරුන් යන එන, සෙනඟගේ පුත්‍රයන්ගේ දොරටුවේද යෙරුසලමේ සියලු දොරටුවලද සිට ඔවුන්ට කථාකොට: 20යූදාහි රජවරුනි, සියලු යූදාවරුනි, මේ දොරටුවලින් ඇතුල්වෙන යෙරුසලමේ සියලු වැසියෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; 21ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක– නුඹලා සබත් දවසේදී කිසි බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් එය නොගෙනෙන හැටියටත්, 22සබත් දවසේදී නුඹලාගේ ගෙවලින් බරක් නොගෙනියන හැටියටත්, කිසිම වැඩක් නොකරන හැටියටත්, නුඹලාගේ ප්‍රාණ උදෙසා බලාගෙන, මා විසින් නුඹලාගේ පියවරුන්ට අණකළ ප්‍රකාරයට සබත් දවස ශුද්ධලෙස පවත්වන්න. 23එහෙත් ඔව්හු නාසා, තමුන්ගේ කන් යොමු නොකර, නාසන ලෙසත් දැනමුතුකම පිළිනොගන්න ලෙසත් තමුන්ගේ කුළල් දැඩිකරගත්තෝය. 24නුමුත් නුඹලා සබත් දවසේදී මේ නුවර දොරටුවලින් කිසි බරක් නොගෙනෙන හැටියට මට ඇහුම්කන්දී, සබත් දවසේදී කිසිම වැඩක් නොකොට, ඒක ශුද්ධලෙස පැවැත්තුවොත්, 25දාවිත්ගේ සිංහාසනයෙහි වාඩිවෙන්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගී යන්නාවූ රජවරු සහ ඔවුන්ගේ අධිපතීහුද යූදාහි මනුෂ්‍යයෝද යෙරුසලමේ වැසියෝද මේ නුවර දොරටුවලින් ඇතුල්වන්නාහුය. මේ නුවරද සදාකාලේටම පවතිනවා ඇත. 26තවද යූදාහි නුවරවලින්ද යෙරුසලම වටකර තැන්වලින්ද බෙන්යමින් දේශයෙන්ද පාතරටින්ද කඳුකරයෙන්ද දකුණු දිශාවෙන්ද මනුෂ්‍යයෝ දවන පූජාද යාගද ආහාර පූජාද කට්ටකුමංචල්ද රැගෙන, ස්තුති පූජාද රැගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්නෝය. 27නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy