විනිශ්චයකාරයන්ගේ පොත 7
7
ගිඩියොන් සහ තුන්සිය දෙනා ලත් ජය
1එවිට යෙරුබ්බාල් නම්වූ ගිඩියොන්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද අලුයම නැගිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය. මිදියන් කඳවුරු ඔවුන්ට උතුරෙන් මෝරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේය.
2එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී–අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත. 3එබැවින්: භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.
4 ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් නුඹ උදෙසා විමසන්නෙමි. මොහු නුඹ සමඟ යේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු නුඹ සමඟ නොයේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක. 5ඔහු වතුර ළඟට සෙනඟ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණගසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිඩියොන්ට කීසේක. 6තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය. 7ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක. 8මෙසේ සෙනඟ කෑමත් තමුන්ගේ හොරණෑත් අතින් ගෙන ගියෝය. ඔහු ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන අනික් සියලු ඉශ්‍රායෙල්වරුන් තම තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය. මිදියන් කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේය.
9එදා රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට කඳවුරට බැස යන්න; මක්නිසාද මම එය නුඹ අතට පාවාදුනිමි. 10නුමුත් නුඹ බැස යන්ට භයනම් නුඹේ මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරට බැස යන්න. 11එවිට ඔවුන් කියන දේ නුඹට ඇසුණාම කඳවුරට බැස යන්ට නුඹේ අත් බලවත්වන්නේයයි කීසේක. එවිට ඔහු තම මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරේ අයිනේ ආයුධ ගත් මනුෂ්‍යයන් වෙතට බැස්සේය. 12මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවතේ පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරෙළ් වැලිමෙන් බොහෝව සිටියෝය. 13ගිඩියොන් ආ විට, බලව, මනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ස්වප්නයක් කියමින්: මම ස්වප්නයක් දුටිමි, යව රොටියක් මිදියන් කඳවුරට පෙරළීගෙන ඇවිත් කූඩාරම දක්වා පැමිණ ඊට හැපී ඒක වැටෙන්ට පහරදී ඒක පෙරළා දමා තිබෙනු දුටිමියි කීවේය. 14අනික් තැනැත්තා උත්තරදෙමින්: මේක ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්වූ, යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන්ගේ කඩුව මිස වෙන දෙයක් නොවේ. ඔහු අතට දෙවියන්වහන්සේ මිදියන්වරුන්ද මුළු සේනාවද පාවා දී තිබේයයි කීවේය.
15ස්වප්නය කීමත් ඒකේ තේරුමත් ගිඩියොන් ඇසූ විට ඔහු නමස්කාරකොට ඉශ්‍රායෙල් කඳවුරට හැරීගොස්: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මිදියන් සේනාව නුඹලා අතට පාවාදුන්සේකැයි කීය. 16ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී 17ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට නුඹලාත් කරන්න. 18මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට නුඹලාත් මුළු කඳවුර වටකරින්ම හොරණෑ පිඹ–ස්වාමීන්වහන්සේ හා ගිඩියොන් උදෙසාය කියා කියන්නැයි කීවේය.
19මෙසේ මධ්‍යම යාමයේ මුලදී මුර මාරු කළ හැටියේම ගිඩියොන්ද ඔහු සමඟ සිටි මිනිසුන් සියයද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ තමුන්ගේ අත්වල තුබූ කළගෙඩි බින්දෝය. 20කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දම්ද පිඹින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේද ගිඩියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය. 21ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය. 22ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය. 23ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලීයෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. 24ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුදාම පණිවිඩකාරයන් යවා: මිදියන්වරුන්ට විරුද්ධව බැස ඇවිත් බෙත්-බාරා දක්වා තොටුපල්ද යොර්දානද ඔවුන්ට පළමුවෙන් අල්ලාගන්නැයි කියා යැවීය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස්ව බෙත්-බාරා දක්වා තොටුපල් ද යොර්දානද අල්ලාගත්තෝය. 25ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.
Currently Selected:
විනිශ්චයකාරයන්ගේ පොත 7: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society