YouVersion Logo
Search Icon

විනිශ්චයකාරයන්ගේ පොත 13

13
සම්සොන්ගේ මවුපියන් හා උප්පැන්නය
1ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.
2දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය. 3ස්වාමීන්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රීට පෙනී: බලව, නුඹ වඳව දරුවන් නොලැබ සිටිනෙහිය. නුමුත් නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය. 4ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රික පානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට බලාගන්න. 5මක්නිසාද නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඔහුගේ හිසට කිසි දැළිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්‍රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇතැයි ඈට කීවේය. 6එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත. 7නුමුත් ඔහු මට කථාකොට: බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඒ නිසා දැන් ඉතින් නුඹ මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මක්නිසාද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය කියා කීයේයයි කීවාය. 8එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය. 9දෙවියන්වහන්සේ මානෝවාගේ හඬට ඇහුම්කන්දුන්සේක; දේවදූතයා ඒ ස්ත්‍රීය කෙතේ ඉන්දැද්දී නැවත ඈ ළඟට ආයේය. නුමුත් ඇගේ පුරුෂයාවූ මානෝවා ඈ ළඟ නොසිටියේය. 10ස්ත්‍රීද ඉක්මනින් දුව ගොස්: මෙන්න එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේය කියා ඇගේ පුරුෂයාට දැන්නුවාය. 11මානෝවා නැගිට තමාගේ භාර්යාව කැටුව ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ: මේ ස්ත්‍රීට කථාකළ මනුෂ්‍යයා ඔබදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මමයයි කීවේය. 12එවිට මානෝවා: ඔබගේ වචන ලෙස සිදුවේවා. දරුවා කෙබඳු කෙනෙක් වන්නේද? ඔහුට ක්‍රියාකළ යුතු කෙසේදැයි කියා ඇසුවේය. 13ස්වාමීන්වහන්සේගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඈ බලාගනීවා. 14මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඈ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටීවා; මා විසින් ඈට අණකළ සියල්ල ඈ පවත්වාවයි කීය. 15මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය. 16ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්‍රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය. 17මානෝවාද: ඔබගේ වචන ලෙස සිද්ධවූ කල අප විසින් ඔබට ගෞරව කරන පිණිස ඔබගේ නාමය කිමෙක්දැයි ස්වාමීන්වහන්සේගේ දූතයාගෙන් ඇසුවේය. 18ස්වාමීන්වහන්සේගේ දූතයාද: නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මක්නිසාද? ඒක පුදුමයයි කීවේය. 19එවිට මානෝවා එළුපැටවාත් ආහාර පූජාවත් ගෙනැවිත් ස්වාමීන්වහන්සේට පර්වතය පිට පූජා කෙළේය, එවිට දේවදූතයා පුදුම ලෙස කෙළේය, මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගන සිටියෝය. 20මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය. 21ස්වාමීන්වහන්සේගේ දූතයා තවත් මානෝවාටවත් ඔහුගේ භාර්යාවටවත් නොපෙනුණේය. එවිට මානෝවා ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව දැනගත්තේය. 22මානෝවා: අප දෙවියන්වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසිනවා ඇතැයි තමාගේ භාර්යාවට කීවේය. 23නුමුත් ඔහුගේ භාර්යාව: ස්වාමීන්වහන්සේ අප නසන්ට කැමැතිසේක්නම් උන්වහන්සේ අප අතින් දවන පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේවත් උන්වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේවත් මේ කාලයේදී අපට මෙබඳු දේවල් දන්වන්නේවත් නැතැයි ඔහුට කීවාය. 24ඒ ස්ත්‍රී තොමෝ පුත්‍රයෙකු බිහිකර ඔහුට සම්සොන් යන නම තැබුවාය. දරුවා වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක. 25ස්වාමීන්වහන්සේගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy