YouVersion Logo
Search Icon

යෙසායා 7

7
යූදාට විරුද්ධවූ සිරිය-ඉශ්‍රායෙලිත වටලෑම ගැන ධෛර්යදීම
1තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය. 2සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.
3එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට: 4නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා. 5සිරියවරුද එප්‍රායිම්ද රෙමලියාගේ පුත්‍රයාද කථාකොට: 6අපි යූදාට විරුද්ධව ගොස්, ඊට පීඩාකර, ඒක බිඳගන ඇතුළුවී, ඒ මැද ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකොට තබමුව කියා නුඹට විරුද්ධව නපුරක් යොදාගත් බැවින්, 7ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. 8මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයය, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය. 9එප්‍රායිම්ගේ ඉස නම් සමාරියේ, සමාරියය ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.
එම්මානුවෙල් නමැති ලකුණ
10 ස්වාමීන්වහන්සේ තවදුරටත් ආහාස්ට කථාකොට: 11නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක. 12නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය. 13එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද? 14එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. 15ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය. 16මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය. 17එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවනසේක.
අසිරියයන් විසින් වටලෑමේදී ඉශ්‍රායෙල්ට වන මහත් හිඟකම කලින් දැන්වීම
18ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්, 19පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.
20ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.
21ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තරුණ එළදෙනකුත් බැටළුවන් දෙන්නෙකුත් තබාගන, උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේය. 22මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.
23ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත. 24එහි යන තැනැත්තා ඊගස්ද දුනුද ඇතුව යා යුතුය; මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස්ද ගොකටුද ඇතිවන්නේය. 25උදැල්ලෙන් කොටන සියලු කඳුවලට වුවත් කටුගස්වලට සහ ගොකටුවලට භය නිසා නුඹ නොයන්නෙහිය, එය වනාහි ගවයන් දක්කා හරින්නාවූ, බැටළුවන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය.

Currently Selected:

යෙසායා 7: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy